Tuesday, May 14, 2024

General line - 0115112241

තැපැල් ඡන්ද දිනය තීරණය කරන්න මැතිවරණ කොමිසම අද රැස් වෙයි




මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් අද (16) පැවැත්වීමට නියමිතයි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙන්නේ රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදීයි. අගෝස්තු 05 වනදා මහ මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස්වන පළමු අවස්ථාව ද මෙය වනවා. එහිදී එළඹෙන මහ මැතිවරණයේ තැපැල් ඡන්ද භාවිත කරන දින පිළිබද තීරණය කරනු ඇති බවටයි වාර්තා වන්නේ. 

එමෙන්ම මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් පාලනය, සෞඛ්‍ය මාර්ගෝපදේශ කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන්ද සාකච්ජා කිරීමට නියමිතයි. ඉකුත් දින කිහිපයේ ප‍්‍රදේශ රැසක පැවති පෙරහුරු මැතිවරණවල ප‍්‍රගතිය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ජා කරනු ඇති.

මෙම පෙරහුරු මැතිවරණවලදි වැඩිම අවදානයක් යොමුකර ඇත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන්. ඒ අනුව මීටරයක පරතරය තබා ගැනීම, මුහුණු ආවරණ පැළදීම, ඡන්ද දායකයින්ගේ දෑත් පිරිසිදු කිරීම, ජාතික හැදුනුම්පත පරීක්‍ෂා කිරීම, නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකාව පරීක්‍ෂා කිරීම සහ ඡන්දය සළකුණු කිරීම සම්බන්ධයෙන්ද එහිදී වැඩි අවධානයක් යොමුකර තිබෙනවා. 

නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් සමන් ශී‍්‍ර රත්නායක පැවසුවේ ඡන්ද දායකයින්ට ඡුන්දය සළකුණු කිරීමට පෑනක් රැගෙන එන ලෙස දැනුම් දෙන බවයි.

කිසියම් අයෙකු පෑනක් රැගෙන නොපැමිණියහොත් ඔහුට පෑනක් ලබාදෙන නමුත් එය යළි භාවිත කිරීමේදී අනිවාර්යයෙන්ම විෂබීජහරණයට ලක් කරන බවයි ඔහු පැවසුවේ. එමෙන්ම නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකාවට අදාළ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව එය ඉරා වෙනම පෙට්ටියකට දැමීමේ වගකීම මෙවර ඡන්ද දායකයාට ලබාදෙන බවයි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසුවේ. ජාතික හැදුනුම්පතද පරීක්‍ෂා කර බලා දෑත් පිරිසිදු කිරීමෙන් පසුවයි ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා ඡන්ද දායකයාගේ ඇගිල්ල වර්ණ ගැන්වීම සිදුකිරීමට නියමිතව ඇත්තේ.