Monday, May 13, 2024

General line - 0115112241

ඉන්දු - චීන දේශ සිමාවේ උණුසුම් තත්ත්වයක් : චීනයේ ප්‍රහාරයකින් ඉන්දීය හමුදා සාමාජිකයින් තිදෙනෙක් ජිවිතක්ෂයට




ඉන්දු - චීන දේශ සීමාවේ දැඩි උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවී තිබෙනවා. ඒ චීනයේ හමුදාව සහ ඉන්දීය හමුදා සාමාජිකයින් අතර ඇතිවූ ගැටුමකින් ඉන්දීය හමුදා සාමාජිකයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්වීමත් සමගයි. මෙලෙස මියගොස් ඇත්තේ ඉන්දීය හමුදාවේ කර්නල්වරයෙක් සහ සෙබළුන් දෙදෙනෙක් බවයි ඉන්දීය හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියේ දෙපාර්ශවයේ හමුදා සාමාජිකයින් විසින් මෙම ගැටුම ඇති කර ගෙන ඇති බවත් ඊට ගිනි අවි හෝ වෙනත් යුධ ආයුධ යොදා ගෙන නොමැති බවයි.

හිමාල කඳුකරය ආශ්‍රිතව පිහිටි මතභේදයට තුඩුදී තිබෙන ගැල්වාන් නිම්නයේ පිහිටි අක්සායි චීන-ලඩාක් ප්‍රදේශයේදී මෙම ගැටුම ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ.

පසුගිය සති කිහිපය පුරාවට එම ප්‍රදේශය ආශ්‍රිතව දෙපාර්ශවයේ හමුදාවන් සිය භට පිරිස් වැඩි වශයෙන් ස්ථාන ගත කිරීමට කටයුතු යොදා තිබුණා. ඇතිව තිබෙන උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් දෙපාර්ශවයේ හමුදා ප්‍රධානින් අතර මේ වන විට සාකච්ජාවක්ද පවත්වනු ලබමින් තිබෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

ඉන්දීය හමුදා නිලධාරින් අවස්ථා කිහිපයකදීම නීතිවිරෝධී අයුරින් දේශ සීමාවෙන් ඇතුල්වී චීන ජාතිකයින්ට පහර දීමේ සිදුවීම් වාර්තා වූ බවට චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක Zaho Lijian ප්‍රකාශ කර සිටියා. රාජතාන්ත්‍රික වශයෙන් ගැටළුව විසඳා ගැනීමට දෙපාර්ශවයම පියවර ගනිමින් සිටින බවින් අනවශ්‍ය අයුරින් ඉන්දීය භට පිරිස් සිය දේශ සීමාව උල්ලංඝණය කිරිම අත්හිටුවිය යුතු බවයි චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.