Tuesday, May 14, 2024

General line - 0115112241

කොවිඩ් 19 වසංගතය පාළනය කළේ මැතිවරණය පවත්වන්න නොවේ : ජනපති




කොවිඩ් 19 මර්දනයට රජය සැලසුම් සහිතව මාස කිහිපයක් කැපවීමෙන් ක්‍රියා කළේ මැතිවරණය අපේක්ෂාවෙන් නොවන බවත් ජනතාවත් රටත් මාරාන්තික වසංගතයෙන් බේරා ගැනීමට බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.

සෞඛ්‍යාරක්ෂාවට මුල් තැන දෙමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය සකසා දෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසමට සහතික වී තිබෙනවා. ඒ මැතිවරණ කොමිසමේ නිලධාරින් සහ ජනාධිපතිතුමා අතර අද පැවති සාකච්ජාවේදී.

කොවිඩ් 19 වසංගතය හමුවේ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති අතර මෙවැනි පසුබිමක පවත්වනු ලබන පළමු මැතිවරණය මෙය වනවා. මැතිවරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට රජයේ පුර්ණ සහාය මැතිවරණ කොමිසමට ලබා දෙන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

මේ තත්ත්වය පිලිබඳව ජනතාව අවබෝධයෙන් සිටීමෙන් කිසිදු සෞඛ්‍ය ගැටළුවකින් තොරව මැතිවරණයට මුහුණ දිය හැකි බව මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

මැතිවරණයට අදාළ මුලික සැලසුම් සකසා ඇති බවත් නිලධාරින්, ආරක්ෂක අංශ ඇතුළු සෙසු සියලු පාර්ශව ඊට දායක කර ගන්නා බව මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටියා.

මැතිවරණ රාජකාරි සඳහා නිලධාරීන්ගේ අනිවාර්යය සහභාගිත්වය තහවුරු කිරිමට නෛතික පදනමක් සැකසීමේදී වැදගත්කම සම්බන්ධයෙන් කොමිසමේ සභාපතිවරයා කරුණු දක්වා සිටියා.

මහජන රැළිවලට සහභාගිවිය හැකි සංඛ්‍යාව සහ ගෙයින් ගෙට ගොස් සිදුකරන ප්‍රචාරණයේදී සෞඛ්‍යාරක්ෂාව පිලිබඳව සියලු පාර්ශව වගකීමෙන් ක්‍රියා කිරිම මැතිවරණය සාර්ථක කර ගැනීමට උපකාර වන බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ.

මැතිවරණ කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරිමට අපේක්ෂිත කොවිඩ් 19 මර්දන නිර්දේශ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාව ද සභාපතිවරයා පෙන්වා දුන්නා. ජුලී මස 31 වෙනිදා සිට මැතිවරණයට ගම්බිම් බලා යන සහ මැතිවරණයෙන් පසු යළි පැමිණෙන ජනතාව වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැලසීම ගැනද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය වෙත යොමු කර සිටියා.