Tuesday, May 14, 2024

General line - 0115112241

"ද ෆිනෑන්ස්" ආයතනය වහන්න ක්‍රියා කලේ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙක් : ආර්ථිකය නගා සිටුවන්න දැනට ඉන්න කණ්ඩායම එක්ක කරන්න බැහැ - හිටපු මහ බැංකු අධිපති කියයි




මහ බැංකුවේ හැසිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඊයේ (16) සිදුකළ ප්‍රකාශය සමග තමන් සම්පූර්ණයෙන් එකඟ වන බවත් අර්බුදයක් මතුනොවන ආකාරයට මැදිහත්වීමට අවස්ථාව තිබුණද ශ්‍රී ලංකා මහ බැංකුව එය ඉටු නොකළ බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කර සිටිනවා.

රටේ පැරණිතම මූල්‍ය ආයතනය වන 'ද ෆිනෑන්ස්' ආයතනය වසා දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙම කරුණු හෙළි කර සිටියා.

"විශේෂයෙන්ම මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙක්, එතුමා කියා හිටියේ මේක වහන්න ඕනෑමයි කියන මතයේ. ඒ අනුව වැහුවා. ලොකු හපන්කමක් කළා වගේ තමයි, ඒ අය මේක කියන්න හදන්නේ. මේ නිසා තැන්පත්කරුවන් 10,072කට මුදල් ලැබෙන්නේ නැහැ. මට පේන විදිහට රු.බිලියන 22.6ක් ඒ තැන්පත්කරුවන්ට  අහිමි වෙනවා. මේක සාධාරණ නැහැ. මහ බැංකුවේ ඉන්න නිලධාරීන් මේ සඳහා වගකියන්න ඕනෑ. ඇයි මෙහෙම වෙන්න දුන්නේ. පෙන්ෂන් අරගන්න 2300ක් මහ බැංකුවේ ඉන්නවා. ඒ වගේ හතර ගුණයකට මේ 'ද ෆිනෑන්ස්' එක හරහා තමන්ගේ ආදායම අහිමි වෙනවා. එය කිසිසේත්ම සාධාරණ නැහැ. ඒ සම්බන්ධයෙන් මැදිහත්වීමට හැකියාව තියෙද්දීත්, මහ බැංකුව එය නොකිරීම කිසිවිටෙකත් අනුමත කිරීමට බැහැ."

2008 සහ 2009 වසරේදී සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සෙලාන් බැංකුව ඇතුළුව ආයතන 12ක් බරපතල ප්‍රශ්නවලට මුහුණ දුන් අතර ඒ සියල්ලක්ම විසඳූ අතර වසා දමන තැනට නොගිය බවයි හිටපු මහ බංකු අධිපතිවරයා කියා සිටියේ. 

සිදුව  තිබෙන වැරැද්ද නිවැරදි කරමින් එම ආයතනය නැවත ස්ථාපනය කර රටේ ආර්ථිකය මෙහෙයවීමේ ක්‍රියාවලියට අනුගත කළ යුතු බවත් එහෙත් දැනට ඉන්නා කණ්ඩායම සමඟ නම් එය කළ නොහැකි බවද හිටපු මහ බැංකු අධිපතිවරයා පැහැදිලිවම ප්‍රකාශ කර සිටියා.

ජනතාවගේ පාර්ශවයෙන් සිතා මුදල් මණ්ඩලය ගෙන තිබෙන තීන්දු නැවත හැරවීමට සිදුව තිබෙන අතර එය කළ හැකි බව ඔහු සඳහන් කර සිටියා.

"මහින්ද රාජපක්ෂ මහතා මට දුන්න මූලික උපදෙසක් තමයි යුද්ධය කාලයේදී මේ ආයතන එකක්වත් වැටෙන්නට දෙන්නේ නැතිව කටයුතු කිරීම. අපි ඒක පිළිපැද්දා. අද වුණත් මම මැදිහත්වෙලා ආරම්භ කරපු Deposit Insurance Fund එකෙන් තමයි  දැන් මේ උජාරුවට ගෙවන්න යන්නේ."

මෙවැනි හිතුවක්කාර ක්‍රියා නැවත්වීමට නම් අදාළ වගකීම් නිවරැදි පුද්ගලයන්ට භාර දිය යුතු බව හිටපු මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.