Monday, May 13, 2024

General line - 0115112241

ගැටුම් ගැන චීනය වගකීම් භාරගත යුතු බවට ඉන්දීය රජය ප්‍රකාශ කරයි




ඉන්දු - චීන දේශ සීමාවේ ගැල්වාන් නිම්නයේදී දෙරටේ හමුදා සාමාජිකයින් අතර ඇති වූ ගැටුමෙන් සිදුවූ ජීවිත හානිවලට සහ ප‍්‍රචණ්ඩත්වයට චීනය සම්පූර්ණයෙන් වගකිව යුතු බව ඉන්දීය රජය ප‍්‍රකාශ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය රජය සඳහන් කර ඇත්තේ අදාළ සිදුවීම නිවැරදි කිරීමට චීනය පියවර ගතයුතු බවයි. 

සිද්ධිය සම්බන්ධයෙන් දෙරටෙහි විදේශ අමාත්‍යවරුන් ඊයේ (17) දුරකථන සංවාදයක නිරත වී ඇති අතර, එම සංවාදයේදී ද ඔවුන් සිදු කර ඇත්තේ දෙපාර්ශවයට එරෙහි විරෝධතා ඉදිරිපත් කිරීමයි. චීන හමුදාව විසින් ඉන්දීය භූමිය තුළ චීන ආධිපත්‍යයක් ගොඩ නැගීමට උත්සාහ කර ඇති බවට ඉන්දීය විදේශ අමාත්‍ය සුබ‍්‍රමන්යම් ජයිශංකර් චෝදනා කර තිබෙනවා.

ඊට පිළිතුරු වශයෙන් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ප‍්‍රකාශ කර ඇත්තේ පහර දීම ආරම්භ කර ඇත්තේ ඉන්දීය හමුදාව විසින් බවයි. ඒ සම්බන්ධයෙන් ඉන්දීය රජය මගින් පුළුල් පරීක්ෂණයක් කි‍්‍රයාත්මක කළ යුතු බවත්, එවැනි සිද්ධීන් නැවත සිදු වීම වළක්වා ගැනීම සඳහා ප‍්‍රකෝපකාරී ක‍්‍රියාවන්වල යෙදීමෙන් වැළකිය යුතු බවත් චීන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, පවතින අර්බුදකාරී තත්ත්වය තවත් උත්සන්න වීමට කටයුතු නොකරන බවට දෙරටෙහි විදේශ අමාත්‍යවරුන් එකගතාවයකට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර, දේශ සීමා ගැටුම සම්බන්ධයෙන් පළමු වරට අදහස් පළ කරමින් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප‍්‍රකාශ කර ඇත්තේ, චීන සෙබලූන්ට එරෙහිව සටන් කළ ඉන්දීය සෙබලූන් පිළිබඳව තමන් ආඩම්බර වන බවයි.

ඉන්දියාවට සාමය අවශ්‍ය වුව ද, කිසියම් පාර්ශ්වයක් ඉන්දියාව කෝප ගැන්වුවහොත් කුමන තත්ත්වයක් මත වුව ද ඊට සුදුසු පිළිතුරක් ලබා දීමට සිය රජයට හැකියාව පවතින බව ද අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවධාරණය කර තිබෙනවා. ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇත්තේ, දේශ සීමා ගැටුම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයා නිහඩ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බවට එරට කොංග‍්‍රස් නායක රාහුල් ගාන්ධි චෝදනා කිරීමෙන් පැය කිහිපයකට පසුවයි. 

දින දෙකකට පෙර ඉන්දු - චීන දේශ සීමාවේදී දෙරටෙහි හමුදා සාමාජිකයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් ඉන්දීය හමුදා සෙබලූන් 20 දෙනෙකු මියගියා. චීන හමුදාවේ ද ජීවිත හානි සිදුව ඇති බවට වාර්තා පළ වුව ද මෙතෙක් එය නිශ්චිතව තහවුරු කර නැහැ. වසර ගණනාවක් තිස්සේ දෙරටෙහි දේශ සීමා ආරක්ෂකයින් අතර වරින් - වර ගැටුම් ඇති වූ නමුත්, 1962 වසරින් පසු මෙම ගැටුම් හේතුවෙන් ජීවිත හානි වාර්තා වූ පළමු අවස්ථාව මෙය වනවා.