Tuesday, May 7, 2024

General line - 0115112241

ඉන්දියාවේ චෙන්නායි නුවර යළිත් වැසෙයි




ඉන්දියාවේ චෙන්නායි නුවර යළිත් වසා දමා තිබෙනවා. ඒ දින 12 ක කාලයක් සඳහායි. ඒ අනුව නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඉහළ යාම හමුවේ එළඹෙන 30 වනදා තෙක් නගරය මෙලෙස වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ. චෙන්නායි නගරය මෙන්ම තවත් යාබද දිස්ති‍්‍රක්ක 03 ක් ද මෙලෙස තාවකාලිකව වසා දමා ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. 

චෙන්නායි යනු තමිල්නාඩු ප‍්‍රාන්තයේ ප‍්‍රධාන නගරය වන අතර එය ඉන්දියාවේ 06 වන විශාලතම නගරය ද වනවා. තමිල්නාඩු ප‍්‍රාන්තය පුරා නව්‍ය කොරෝනා වෛරසය දැඩිව ව්‍යාප්ත වී ඇති අතර ඉන් වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ චෙන්නායි නගරයෙන්. ඒ අනුව තමිල්නාඩු ප‍්‍රාන්තයෙන් ආසාදිතයින් 50,000 ක් වාර්තා වෙද්දී, එම ආසාදිතයින්ගෙන් 37,000 ක්ම චෙන්නායි වැසියන්. 

නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග වසා දැමූ ඉන්දියාව යළි විවෘත කිරීමෙන් පසු මෙලෙස යළිත් වරක් වසා දැමීමට සිදුවූ එකම නගරය චෙන්නායි නගරය බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඉන්දියාවෙන් මේවනවිට නව්‍ය කොරෝනා ආසාදිතයින් තුන්ලක්ෂ 82,000 ක් වාර්තා වන්නේ මරණ 12,615 ක්ද සමගයි.