Tuesday, May 14, 2024

General line - 0115112241

ඇවන්ගාඞ් සමාගමට එරෙහි දේශපාලන පළිගැනීම් : කට උත්තර ලබා දෙන්න අනුර කුමාර ජනපති කොමිසමට පැමිණෙයි




ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවට අද පෙරවරුවේ පැමිණියා. 

ඒ, ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම්දීමකට අනුවයි. ඇවන්ගාඞ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරාගැනීම හේතුවෙන් අලාභ සිදුවූ බව පවසමින් එම සමාගමේ ප‍්‍රධානී නිශ්ශංක සේනාධිපති ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාලව මෙම දැනුම්දීම සිදුකර තිබුණා.

ඊට අදාළව කොමිසම මඟින් සිදුකරන විමර්ශනයේ වගඋත්තරකරුවන් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු පාර්ශව 17 ක් ඉකුත්දා නම් කළා. ඒ අතරට රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක සහ අර්ජුණ රණතුංග ද අයත්. කොමිසම හමුවේ පෙනී සිටීමට පෙර අනුර කුමාර දිසානායක හිටපු මන්තී‍්‍රවරයා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

නීතිපතිවරයා මීට පෙර කොමිසමට දැනුම් දී තිබුණේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත සහභාගි කරවිය නොහැකි බවයි.

මේ අතර යහපාලන ආණ්ඩුව සමයේ සිදු වූ බව කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ නියෝමාල් රංගජීව ඊයේ පෙනී සිටියා. 

එහිදී ඔහු පැවසුවේ 2012 දී වැලිකඩ බන්ධනාගාරය තුළ වෙඩි තැබීමේ සිද්ධියට තමාගේ කිසිඳු සම්බන්ධයක් නැතත් පැවති ආණ්ඩුව තමා එම සිදුවීමට සම්බන්ධ කිරීමට විවිධ උත්සාහයන් දැරූ බවයි. 

ඔහු ඒ බව කියා සිටියේ ප‍්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාගෙන් ලැබුණු තර්ජනාත්මක දුරකථන හඬපටයක් ද කොමිසමට ඉදිරිපත් කරමින්.