Tuesday, May 14, 2024

General line - 0115112241

2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේ සිදු වූ බව කියන පාවාදීම - මහින්දානන්ද සියලු ලියකියවිලි භාර දෙයි




2011 ලෝක කුසලානය ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලූ‍ත්ගමගේ කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන කණ්ඩායමක් ඔහුගෙන් ප‍්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා. 

ක‍්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා පැවසුවේ නිලධාරීන් කණ්ඩායම අද පෙරවරු 6ට පමණ නාවලපිටියේ පිහිටි ඔහුගේ නිවසට ගොස් ප‍්‍රකාශ සටහන් කර ගත් බවයි. 

මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙස ක‍්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ක‍්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට ඉකුත්දා උපදෙස් ලබා දි තිබුණා. 

ඒ අනුව පැමිණ ප‍්‍රකාශයක් ලබාදෙන ලෙසට දැනුම්දිමක් කළද මැතිවරණ කටයුතු ඇති බැවින් පැමිණිය නොහැකි බවට හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ප‍්‍රකාශ කිරීම හේතුවෙන් ඔහුගේ නිවසට ගොස් ප‍්‍රකාශයක් සටහන් කර ගත් බවයි ක‍්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා සදහන් කළේ.

2011 ලෝක කුසලානය ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශී‍්‍ර ලංකාව පරාජයට පත්වුණේ සිදුවූ පාවාදීමක් හේතුවෙන් බවට එවක කී‍්‍රඩා අමාත්‍යවරයාව සිටි මහින්දානන්ද අලූත්ගමගේ කළ ප‍්‍රකාශය දැඩි ආන්දෝලනයක් ඇති කළා.

2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සිදුවූ බව කියන තරග පවාදිම සම්බන්ධයෙන් තමන් සතු සියළුම ලියකියවිලි ඉදිරි පරික්ෂණ කටයුතු සදහා පොලිස් විශේෂ විමර්ශණ අංශය වෙත ලබාදුන් බවද හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලූත්ගමගේ මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.