Tuesday, May 14, 2024

General line - 0115112241

ව්‍යාපාර 13,000 කට 4%ක සහන ණය දෙන්න මහ බැංකුවෙන් බිලියන 28 ක්




කෝවිඞ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර 13,861 ක් සඳහා සියයට 4 ක සහනදායී වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ රුපියල් බිලියන 28 ක මුදලක් ලබා දීමට ශී‍්‍ර ලංකා මහ බැංකුව අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අතරින් ව්‍යාපාර 7,274 ක් සඳහා රුපියල් බිලියන 14.8 ක මුදලක් ඊයේ (24) දිනයේ බැංකු පද්ධතිය වෙත මුදා හැරුණු බවයි ශී‍්‍ර ලංකා මහ බැංකුව නිවේදනය කළේ.

කෝවිඞ් -19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර පුනර්ජීවනය කිරීම හා ආර්ථික කටයුතු යළි ගොඩ නැගීම සඳහා සෞභාග්‍යා කෝවිඞ්-19 පුනරුද සහන ප‍්‍රතිමූල්‍ය පහසුකම ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් ඊයේ ප‍්‍රකාශයට පත් කළා.

මාස 06 ක සහන කාලයකට යටත්ව මාස 24 කින් ආපසු ගෙවා නිම කළ හැකි වන පරිදි මෙම ණය යෝජනා ක‍්‍රමය ක‍්‍රියාත්මක වනවා. මීට අමතරව මෙහි දෙවන අදියර යටතේ ශී‍්‍ර ලංකා මහ බැංකුව මගින් තවත් රුපියල් බිලියන 120 ක් සියයට 1 ක වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ වාණිජ බැංකු වෙත ලබාදීමට නියමිතයි.

එම මුදල් කෝවිඞ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර යළි ගොඩ නැගීම සඳහා සියයට හතරේ සහනදායී පොලී අනුපාතිකයක් යටතේ මුද හැරීමට කටයුතු යොදා ඇති බව ද ශී‍්‍ර ලංකා මහ බැංකුව නිවේදනය කළා.