Wednesday, May 15, 2024

General line - 0115112241

කරන්නාගොඩට එරෙහි නඩුවට තහනම් නියෝගයක්




හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කර ඇති නඩු කටයුතු තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. 

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඞී. නවාස් සහ විනිසුරු සෝභිත රාජකරුණා විසින් මෙම නියෝගය නිකුත් කළේ, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබාදෙමින්. 

මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කෙරුණේ පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු බලපැවැත්වෙන පරිදියි. පෙත්සමට අදාළ විරෝධතා තිබේනම් ඒවා ලබන මස 22 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේ.

2008 සහ 2009 යන වසර වලදි කොළඹ හා ඒ අවට ප‍්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කිරීමේ චෝදනාවට වසන්ත කරන්නාගොඩ ඇතුළු 14 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා.