Friday, May 17, 2024

General line - 0115112241

මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරිවරයාගේ වැඩ තහනම් කෙරේ




මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝගේ වැඩ තහනම් කර තිබෙනවා. අධිකරණ, නීති ප‍්‍රතිසංස්කරණ සහ මානව හිමිකම් අමාත්‍යාංශයේ ලේකම් සිත්ති මරීනා මොහොමඞ් නෙත් නිවුස් වෙත කියා සිටියේ අදාළ නිලධාරියාට එරෙහිව එල්ල වූ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකට අනුව ඔහුගේ වැඩ තහනම් කළ බවයි.

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් ඉකුත්දා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මීගමුව බන්ධනාගාරයේ 7, 8 යන සිර මැදිරිවල තිබී ශීතකරණ, විදුලි උදුන්, විදුලි පංකා ඇතුළු තහනම් භාණ්ඩ රැසක් සොයාගනු ලැබුවා. ඒ පිළිබඳ පළමු වරට අනාවරණ කළේ නෙත් නිවුස් ඔස්සේයි. ඉන් පසුව චෝදනා එල්ල වී සිටින බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ කළුතර බන්ධනාගාරයේ දෙවන නිලධාරියා ලෙස මාරු කර යැවීමට බලධාරීන් තීරණය කළා. 

කෙසේ වෙතත්, ඉන් අනතුරුව ද එම බන්ධනාගාරයේ අකටයුතුකම් සිදු වන බවට නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහන මගින් තොරතුරු අනාවරණ කළ අතර එදිනම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු කණ්ඩායමක් එම බන්ධනාගාරයේ තවත් වැටලීමක් සිදු කළා. 

කළුතර බන්ධනාගාරය වෙත මාරු කර යැවූ චෝදනාවට ලක්වී සිටින නිලධාරියා එම බන්ධනාගාරයේ රාජකාරී සඳහා වාර්තා නොකළ බවයි අධිකරණ, නීති ප‍්‍රතිසංස්කරණ සහ මානව හිමිකම් අමාත්‍යාංශයේ ලේකම් සිත්ති මරීනා මොහොමඞ් වැඩිදුරටත් සඳහන් කළේ.