Friday, May 17, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධකම් පැවැත්වූ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් 04ක් අත්අඩංගුවට : උපයා ගත් කෝටි ගණනක මුදල් හා දේපළ සොයා ගැනේ




මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ බව කියන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සිව්දෙනෙකු සහ සාමාන්‍ය පුද්ගලයෙකු අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඔවුන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධි විධාන පනත යටතේ රඳවා තබාගෙන තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ප්‍රකාශ කර සිටිනවා.

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ගෙන් ලද තොරතුරු මත සිදුකරන ලද විමර්ශනයකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධකම් පැවැත්වූ මෙම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සිව්දෙනා සහ ඔවුන්ට ආධාර අනුබලදුන් බව කියන සිවිල් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත සිදුකරනු ලබන විමර්ශනයකට අනුවයි.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබු මෙම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එකතුව මත්ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා සහය දක්වා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු අනාවරණය කර ගෙන තිබෙනවා.

එලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වීමෙන් ඔවුන් රුපියල් කෝටි ගණන් වටිනා ඉඩම් සහ දේපළ මිලදී ගෙන ඇති බවත්, ඊට අමතරව මෝටර් රථ, යතුරුපැදි භාවිත කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තොරතුරු අනාවරණය කර ගෙන ඇත. 

එමෙන්ම අත්අඩංගුවට ගනු ලැබූ පිරිස සතුව තිබී රුපියල් මිලියන 30 කට අධික වටිනාකමකින් යුත් මුදල් ප්‍රමාණයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයා ගෙන් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම මිට වසර කිහිපයකට ඉහතදී පිළියන්දල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමක් වැටලීමට යාමේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙකු මරණයට පත් කරමින් තවත් නිලධාරියෙකුට බරපතල තුවාල සිදුකරමින් සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමට මෙම පිරිසගේ සම්බන්ධයක් ඇත්ද යන්න ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරමින් සිටියි.

මෙම අත්අඩංගුවේ පසුවන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට සහය දැක්වූ වෙනත් නිලධාරීන් හෝ භාහිර සමාජයේ පිරිස් සිටිනවාද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න ප්‍රකාශ කර සිටියා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, සංවිධානාත්මක අපරාධ කල්ලි හෝ වෙනත් අපරාධකරුවන් සමග සම්බන්ධකම් පවත්වනු ලබන පොලිස් නිලධාරීන් වේද යන්න සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් පුළුල් විමර්ශනයක් ඉදිරියටත් සිදුකෙරෙන බවයි වාර්තා වන්නේ.