Friday, May 17, 2024

General line - 0115112241

බැලුම්ගලින් ඇත්ත හෙළි කළ මූල්‍ය ආයතනය තවදුරටත් ජනතාව රවටමින් ගනුදෙනු කරයි




නීත්‍යානුකූල නොවන අන්දමින් කුරුණෑගල මාස්පොත ප‍්‍රදේශයේ පවත්වාගෙන යන බවට නෙත් එෆ්. එම්. බැලූම්ගල ඉකුත්දා අනාවරණ කළ ඉයොන් ලංකා ඉන්වෙස්ට්මෙන්ට් ආයතනය තවදුරටත් ගනුදෙනුකරුවන් මුලා කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

නෙත් එෆ්. එම්. බැලූම්ගල කළ අනාවරණයෙන් පසු මෙම ආයතනයට ලබාදී ඇති මුදල් ආපසු ලබාගැනීම සඳහා ඇතැම් ගනුදෙනුකරුවන් විමසීම් කර ඇති අතර එවැනි අවස්ථාවලදී ආයතනයේ සේවකයන් පවසා ඇත්තේ එලෙස ගනුදෙනු අවසන් කිරීමට බිය නොවන ලෙසයි.

නෙත් එෆ්. එම්. බැලූම්ගල කළ අනාවරණයෙන් පසු ශ‍්‍රී ලංකා මහ බැංකුව ද ඉයොන් ලංකා ඉන්වෙස්ට්මෙන්ට් ආයතනය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළා. මෙම විමර්ශනය පිළිබඳ තොරතුරු ද ආයතනයේ සේවකයන්, ගනුදෙනුකරුවන් වෙත දැනුම් දී ඇත්තේ කරුණු විකෘති කරමින්.

ශ‍්‍රී ලංකා මහ බැංකුවෙන් පැමිණි නිලධාරීන් සිය ලිපි ගොනු පරීක්ෂා කර ඒවායේ කිසිදු දෝෂයක් නොමැති බවත්, ගනුදෙනු තවදුරටත් සිදුකරගෙන යන ලෙසත් පැවසූ බව ඔවුන් ගනුදෙනුකරුවන්ට දැනුම් දී තිබෙනවා. එහෙත් අදාළ විමර්ශන තවමත් අවසන් කර නොමැති බවයි ශී‍්‍ර ලංකා මහ බැංකුව පවසන්නේ. 

ඉයොන් ලංකා ඉන්වෙස්ට්මෙන්ට් අයතනය පවත්වාගෙන යන්නේ නීත්‍යානනුකූල නොවන අන්දමින් බවත් එහි ආදායම් ප‍්‍රභව සැකසහිත බවත් මූලික විමර්ශනයේදී හෙළි වී තිබෙනවා. 

මෙම මූලික විමර්ශනයේදී ආයතනයේ සේවකයන්ගෙන් ප‍්‍රකාශ ලබා ගැනුණා. එහිදී හෙළි වූ කරුණු අනුව ඉයොන් ලංකා ඉන්වෙස්ට්මෙන්ට් ආයතනයේ හිමිකරුගෙන් ද ඉදිරියේ දී ප‍්‍රකාශයක් ලබාගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

දැනට හෙළි වී ඇති කරුණු වලට අනුව ඉයොන් ලංකා ඉන්වෙස්ට්මෙන්ට් ආයතනය ගනුදෙනුකරුවන්ගෙන් ලබාගෙන ඇති මුළු මුදල් ප‍්‍රමාණය රුපියල් කෝටි දහසකට ආසන්න වනවා. මාසිකව සියයට 6 ක පොලියක් ලබා දෙන බව පවසා ඇති බැවින් ඒ සඳහා පමණක් ආයතනයට මාසිකව වැය වන මුදල රුපියල් කෝටි 60 කට ආසන්නයි. එවැනි පොලියක් ගෙවීම සඳහා ඉයොන් ලංකා ඉන්වෙස්ට්මෙන්ට් ආයතනය ආදායම් උපයා ගන්නේ කෙසේ දැයි මූලික විමර්ශනයේදී තහවුරු කළ හැකි තොරතුරු ලැබී නැහැ.