Friday, May 17, 2024

General line - 0115112241

සල්ලි දීලා ඡන්ද කාඩ් මිලදී ගත් දෙදෙනෙක් කොටු




රුපියල් පන්දහස බැගින් මුදල් ගෙවා නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා මිලදී ගැනීමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙකු බේරුවල මුල්ලියවලේ දේවස්ථානය අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මෙම පුද්ගලයින් පිරිස පිළිබද ප‍්‍රදේශවාසීන් පොලීසියට කළ දැනුම්දීමකට අනුවයි. පසුව ප‍්‍රදේශවාසීන් විසින් එලෙස පැමිණි සැකකරුවන් දෙදෙනෙකු අල්ලා පොලිසියට භාරදී තිබෙනවා. 

නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා මිලට ගැනිමට පැමිණි තවත් පුද්ගලයින් දෙදෙනෙකු පලාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. ඔවුන් පැමිණි මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. එම මෝටර් රථයේ තිබී අපේක්ෂකයින් දෙදෙනෙකුගේ මනාප අංක සහිත ප‍්‍රචාරණ පත‍්‍රිකාද සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ. 

රුපියල් 35,950 ක මුදල් සහ ජාතික හැදුනුම්පතක් ද එම මෝටර් රථයේ තිබී සොයාගෙන තිබෙනවා. ප‍්‍රදේශවාසීන් පොලීසියට පවසා ඇත්තේ මෙම පිරිස මුදලට නිල ඡන්ද දැන්විම් පත‍්‍රිකා මිලදී ගැනීමට තැත්කර ඇති බවයි. 

ඒ සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසීන් දෙදෙනෙකු ද පොලිසියට ප‍්‍රකාශ ලබාදී තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.