Friday, May 17, 2024

General line - 0115112241

නිහඬ කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණ නීති කඩවීම් 2566ක්




මහ මැතිවරණයේ නිහඬ කාලය ආරම්භ වූ ඉකුත් 02 වනදා මධ්‍යම රාති‍්‍රයේ සිට ඊයේ රාතී‍්‍ර 08 දක්වා කාලය තුළ සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් පැමිණිලි 2566 ක් පිළිබඳ මැතිවරණ කොමිසම දැනුවත් කළ බව පැෆරල් සංවිධානය පවසනවා. 

ඉන් සිදුවීම් 1000 ක් පමණ වැළැක්වීමට මැතිවරණ කොමිසම පියවර ගෙන ඇති බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි නෙත් නිවුස් වෙත පැවසුවේ. 

නිහඬ කාලය තුලදී සමාජ මාධ්‍ය ජාල භාවිත කර සිදුකෙරෙන මැතිවරණ ප‍්‍රචාරණ කි‍්‍රයා පාලනය කිරීමට මැතිවරණ කොමිසම පියවර ගත්තද, එලෙස සිදුකෙරෙන ප‍්‍රචාරණ කටයුතු ඉහළ යමින් පවතින බැවින් පාලනය කිරීම අපහසු තත්ත්වයකට පත්ව ඇති බවයි මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක පැවසුවේ. 

මේ අතර මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ පැමිණිලි 6932 ක් වාර්තා වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 

ඒ අතරින් පැමිණිලි 5759 ක් වාර්තා වි ඇත්තේ දිස්ති‍්‍රක් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙතයි. ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ද පැමිණිලි 1173 ක් ලැබී තිබෙනවා.

මේ අතර ඉකුත් 02 වනදා පස්වරු 04 සිට ඊයේ පස්වරු 12 දක්වා වු කාලය තුළ පමණක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 196 ක් වාර්තා වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.