Friday, May 17, 2024

General line - 0115112241

මහ මැතිවරණයේ ජනතා තීන්දුව අද - හිටපු මන්තී‍්‍රවරුන් 208 ක් සමග 7452 දෙදෙනෙකු තරග බිමේ




09 වැනි පාර්ලිමේන්තුව සදහා මන්ත‍්‍රීවරුන් තෝරා  පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (05) පෙරවරු 07ට ආරම්භ වුනා. ඒ ඡන්ද මධ්‍යස්ථාන 12,985කදීයි. ඡන්දය භාවිත කිරීම සදහා මෙවර සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂ 63,885 ක්. මැතිවරණ දිස්ත‍්‍රික්ක 22ක් සදහා දේශපාලන පක්ෂ 20ක් සහ ස්වාධීන කණ්ඩායම් 34 ක් නියෝජනය කරමින් අපේක්ෂකයින් 7452 දෙදෙනෙකු මෙවර මහ මැතිවරණයට තරග කරනවා. මෙවර මහ මැතිවරණයේදී මැතිවරණ කොට්ඨාස 160ක් වෙනුවෙන් මන්ත‍්‍රීවරුන් 196 ක් තෝරා පත් කර ගැනීමට නියමිතයි. සෙසු මන්ත‍්‍රීවරුන් 29 දෙනා ජාතික ලැයිස්තුවෙන් තෝරා පත්කර ගැනෙනවා. 

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් අතරින් 208 දෙනෙකුම ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත‍්‍රිවරුන්. එමෙන්ම මෙවර මහ මැතිවරණය සදහා හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු සහ හිටපු අගමැතිවරයෙකු ද තරග වැදීම විශේෂත්වයක්. හිටපු ජනාධිපතිවරුන්ගේ පුතුන් දෙදෙනෙක් සහ හිටපු අගමැතිවරයෙකුගේ පුතුන් දෙදෙනෙකු ද මෙවර මහ මැතිවරණයට තරග කරනවා.

මෙවර ඡන්දය භාවිත කිරීම සදහා වැඩිම ඡන්ද දායකයින් පිරිසක් සුදුසුකම් ලබා සිටින්නේ ගම්පහ දිස්ත‍්‍රික්කයෙන්. එම ඡන්ද දායකයින් සංඛ්‍යාව දාහත් ලක්ෂ 85,964ක්.
 
කොළඹ දිස්ත‍්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණය සඳහා ඡන්ද දායකයින් දාහත් ලක්ෂ 9209 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා. මහනුවර දිස්ත‍්‍රික්කයෙන් ඡන්ද දායකයින් එකලොස් ලක්ෂ 29,100 දෙනෙකු සහ කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් දහතුන් ලක්ෂ 48,787 දෙනෙකුද ඡන්දය භාවිත කිරීම සදහා සුදුසුකම් ලබා සිටිනවා. මෙවර මහ මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීමට අඩුම ඡන්ද දායකයින් පිරිසක් සුදුසුකම් ලබා ඇත්තේ වන්නි දිස්ති‍්‍රක්කයෙන්. එම දිස්ත‍්‍රික්කයෙන් ඡන්ද දායකයින් දෙලක්ෂ 87,024 දෙනෙකු ඡන්දය භාවිත කිරීම සදහා සුදුසුකම් ලබා සිටිනවා. 

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර මහ මැතිවරණය සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව පැවැත්වෙන අතර අද පෙරවරු 07ට ආරම්භ වන ඡන්ද විමසීම අවසන් වන්නේ පස්වරු 05 ටයි. ස්වංය නිරෝධායනයට යොමුව සිටින පුද්ගලයින්ට ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාවේ අවසන් පැයේදී, එනම් පස්වරු 04 සිට 05 දක්වා අවස්ථාව සලසා දී ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය පැවසුවේ. ඔවුන් වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන තුළ වෙනම කුටියක් ද ස්ථාපිත කර තිබෙනවා.