Friday, May 17, 2024

General line - 0115112241

ඉතිහාසගත මහමැතිවරණයේදි දේශපාලන නායකයන් ඡන්දය භාවිතා කළේ මෙහෙමයි




09 වැනි පාර්ලිමේන්තුව සදහා මන්ත‍්‍රීවරුන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද පස්වරු 05 ට අවසන් වුණා. ඡන්ද මධ්‍යස්ථාන 12,985කදී පෙරවරු 07ට ආරම්භ වූ ඡන්ද විමසීම සාමකාමීව පැවැති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් සඳහන් කළේ. 

මෙවර ඡන්දය භාවිත කිරීම සදහා සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂ 63,885 ක්. අද උදෑසන සිට බොහෝ දිස්ති‍්‍රක්කවල ඡන්ද දායකයින් දැඩි උනන්දුවකින් ඡන්දය ප‍්‍රකාශ කරන අයුරු දැකගත හැකිවුණා. 

මැතිවරණ දිස්ත‍්‍රික්ක 22ක් සදහා අපේක්ෂකයින් 7452 දෙදෙනෙකු මෙවර මහ මැතිවරණයට තරග වැද සිටියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නුගේගොඩ පැගිරිවත්ත ශ‍්‍රී විවේකාරාම විහාරස්ථානයේදි සිය ඡන්දය ප‍්‍රකාශ කළා. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ඡන්දය ප‍්‍රකාශ කළේ මැදමුලන ඞී ඒ රාජපක්ෂ විද්‍යාලයේදීයි. 

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඡන්දය භාවිත කළේ  කොළඹ විශ්ව විද්‍යාල පරිශ‍්‍රයේදීයි.  සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා වීරවිල සුරනිමල කණිෂ්ඨ විද්‍යාලයේදී සිය ඡන්දය ප‍්‍රකාශ කළා. ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පංචිකාවත්තේදී සිය ඡන්දය භාවිත කළා. 

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර මහ මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වුණේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුවයි. ඒ අනුව ඡන්ද දායකයින්ට මෙන්ම මැතිවරණ නිලධාරීන් හා ආරක්ෂ අංශ නිලධාරීන්ට ද එය පෙර නොවූවිරූ අත්දැකීමක් වුණා. 

ස්වංය නිරෝධායනයට යොමුව සිටින පුද්ගලයින්ට ද පස්වරු 04 සිට 05 දක්වා ඡන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී තිබුණේ ඡන්ද මධ්‍යස්ථාන තුළ වෙනම කුටියක් ද ස්ථාපිත කරමින්. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රයද 2011 වසරින් පසු පළමුවරට ඡන්දය ප‍්‍රකාශ කිරීමට අද පැමිණියේ ඡුන්ද මධ්‍යස්ථාන සුරක්ෂිත බව ඔප්පු කර පෙන්වීමේ අරමුණ ද ඇතිවයි. 

සමස්ථයක් ලෙස ගත්කළ ඡන්ද දායකයින්ගෙන් සියයට 60කට වැඩි පිරිසක් ඡන්දය භාවිත කර ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක නෙත් නිවුස් වෙත තහවුරු කළේ.