Friday, May 17, 2024

General line - 0115112241

මහ මැතිවරණයේ ජනතා තීන්දුවේ තීරණය අද




මෙවර මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරිමේ කටයුතු අද සිදු වනවා. ඒ, අදියර 02 ක් යටතේයි. ඒ අනුව පෙරවරු 07 ට සහ 08 ට ඒ ඒ දිස්ති‍්‍රක්කයන්හිදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරනු ඇති. ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවන්නේ ද කොරෝනා වසංගතය පාලනය කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝදේශ ද නිසි අයුරින් කි‍්‍රයාත්මක කරමින්. 

ඡන්දය ප‍්‍රකාශ කළ දිනයේ ප‍්‍රතිඵල ගණනය කිරීම සිදුනොකර ඉන් පසු දින ඡන්ද ප‍්‍රතිඵල ගණනය කිරීම මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂි අවස්ථාවක් ලෙසටයි සැලකෙන්නේ. කෙසේවෙතත්, ඡන්දය ගණන් කිරීමේ කටයුතු ආරම්භ කෙරෙන වේලාව ද වෙනස් විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය ප‍්‍රකාශ කළා. 

ඡන්ද ගණන් කිරීමේ පළමු අදියරේදී එක් එක් ඡන්ද පෙට්ටියේ ඇති ඡන්ද සංඛ්‍යාව ගණන් කිරීම සිදුවනු ඇති. දෙවන අදියරේදී සිදුවන්නේ පක්ෂ හා කණ්ඩායම් ලබාගත් ඡන්ද සංඛ්‍යාව ගණනය කිරීමයි. 03 වන අදියරේදී මනාප ඡන්ද ගණන් කිරීම සිදුවනවා. එහිදී එක් එක් ගණන් කිරීමේ ශාලාවේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් පක්ෂයේ හෝ කණ්ඩායමේ මනාප ගණන් කිරීම ආරම්භ වනවා. මනාප ගණන් කරනු ලබන පක්ෂයේ හෝ කණ්ඩායමේ ගණන් කිරීමේ නියෝජිතයින්ට පමණක් එම අවස්ථාවේ රැඳී සිටීමට අවසර ලබාදී තිබෙනවා. 

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය සඳහන් කළේ පළමු නිල ඡන්ද ප‍්‍රතිඵලය අද පස්වරු 03.30 ට පෙර ප‍්‍රකාශයට පත් කිරීමට හැකිවනු ඇති බවයි. 

කෙසේවෙතත්, මැතිවරණ ප‍්‍රතිඵල  ප‍්‍රකාශයට පත්කළ හැකි වේලාව ද වෙනස් විය හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

ඊයේ පැවැති මහ මැතිවරණයේ ඡන්ද පෙට්ටි රැගෙන යාමේ කටයුතු ඊයේ පස්වරුවේම විශේෂ ආරක්ෂාවක් යටතේ සිදු කෙරුණා. ඒ, අවි සහිත පොලිස් නිලධාරීන් ද සමගයි. ඊයේ රාති‍්‍රයේ ඡන්ද පෙට්ටි රඳවා තැබූ ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ද විශේෂ ආරක්ෂාවක් යෙදවීමටයි පියවර ගෙන තිබුණේ. ඒ සඳහා පොලිස් විශේෂ කාර්යය බලකායේ සහය ද ලබාගෙන තිබුණා. ඊයේ ඡන්ද විමසීම අවසන්වීමෙන් පසු ඡන්ද පෙට්ටි භාරගැනීම නිරීක්ෂණය සඳහාත් රාති‍්‍රයේ ගණන් කිරීමේ පරිශ‍්‍රයේ රැඳී සිටීම සඳහා එක් භාරගැනීමේ ශාලාවක එක් පක්ෂයකින් හෝ කණ්ඩායමකින් නියෝජිතයින් දෙදෙනෙකු පත් කිරීමට අවසර ලබාදීමටයි කටයුතු කර තිබුණේ. 

මේ අතර ඡන්දය ගණන් කිරීමේ කටයුතු පූර්ණ නිරවද්‍යතාවයකින් යුතුව සිදුකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය සඳහන් කළා. ඔහු පැවසුවේ ප‍්‍රතිඵල ගණන් කිරීම කණ්ඩායම් කිහිපයක් යටතේ සිදුවන බවයි. 

ආසන සහ දිස්ති‍්‍රක්ක මට්ටමෙන් ප‍්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු මනාප ගණන් කිරීමේ කටයුතු සිදුකරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය වැඩිදුරටත් පැවසුවේ. 

මේ අතර ඡන්ද ගණන් කිරීමේ කාර්යය මණ්ඩලය සඳහා පත්වීම් ලද නිලධාරීන්, අදාළ ශාලා සඳහා දේශපාලන පක්ෂ පත් කර ඇති නියෝජිතයින් සහ අවසර ලත් නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් ඡන්ද ගණන් කිරීමේ ශාලා පිහිටි පරිශ‍්‍රයන්ට ඇතුළු කිරීම සිදුවන්නේ සෞඛ්‍ය පරීක්ෂාවකින් පසුවයි. එමෙන්ම ඡන්ද ගණන් කිරීමේ කටයුතු ප‍්‍රමාදයකින් තොරව සිදුකිරීම සඳහා ඒ සඳහා අවසරලත් සියලූදෙනාට දන්වා ඇති වේලාවට පැයකට පෙර පැමිණෙන ලෙසටයි මැතිවරණ කොමිසම දැනුම් දෙන්නේ.