Friday, May 17, 2024

General line - 0115112241

ගණන් කිරීමේ මධ්‍යස්ථානවලටත් විශේෂ ආරක්ෂාවක්




මහ මැතිවරණයේ ප‍්‍රතිඵල ගණන් කිරීමේ කටයුතු සදහාද විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නංවා ඇති බව පොලීසිය පවසනවා. ඒ අනුව ගණන් කිරීමේ මධ්‍යස්ථාන තුළට මෙන්ම ඉන් භාහිරවද විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නැංවීමටයි කටයුතු යොදා ඇත්තේ.

ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්‍ෂාවට පමණක් යොදවා ඇති පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 3,328 ක්. ඒ සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ ද සහය ලබාගෙන තිබෙනවා. පොලිස් මැතිවරණ කොට්ඨාශයේ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන සදහන් කළේ සිවිල් ආරක්‍ෂක බලකායේ නිලධාරීන් කණ්ඩායමක්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්‍ෂාවට යොදා ඇති බවයි.

ගණන් කිරීමේ මධ්‍යස්ථාන ආශි‍්‍රත මාර්ගවලද විශේෂ රථ වාහන සැලැස්මක් සහ ආරක්‍ෂක වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නංවා ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. ඡුන්ද ගණන් කිරීම ආරම්භ කළ මොහොතේ සිට අවසන් ප‍්‍රතිඵලය දක්වා මෙම වැඩපිළිවෙල කි‍්‍රයාත්මක බව ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන පැවසුවා.

ඉන් නොනැවතී මැතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසුවද ආරක්‍ෂාව සදහා විශේෂ කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි පොලිස් මැතිවරණ කොට්ඨාශයේ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන වැඩිදුරටත් කියාසිටියේ.

මේ අතර ඡන්ද විමසීම සිදුවූ ඊයේ දිනය තුළ පැමිණිලි 51 ක් ලැබී ඇති බව පොලීසිය පවසනවා. ඊට අදාළව පුද්ගලයින් 53 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා. පහරදීමේ සිද්ධීන්, ඡන්ද පති‍්‍රකා රැගෙන යාම හා හොර ඡන්ද දැමීමට අදාළ පැමිණිලි කිහිපයක්ද ඒ අතරට අයත්. හොර ඡන්ද දැමීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය සදහන් කළා. පහරදීමේ සිද්ධීන් වාර්තා වී ඇත්තේ කිරිබත්ගොඩ, රක්වාන, පන්නල යන ප‍්‍රදේශවලදීයි.

රත්නපුර දිස්ත‍්‍රික් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකුට අයත්  ජීප් රථයකට  රත්නපුර, රක්වාන ප‍්‍රදේශයේ දි කිසියම් පිරිසක් සිදුකළ පහරදීමෙන් එක් අයෙකු තුවාල ලබා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. කිරිබත්ගොඩ ප‍්‍රදේශයෙන් වාර්තා වන්නේ අපේක්‍ෂකයෙකු විසින් ති‍්‍රරෝද රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියක්. පන්නල, මාකදුර ප‍්‍රදේශයේදී අපේක්‍ෂකයින් දෙදෙනෙකුගේ ආධාරකරුවන් දෙපිරිසක් අතරද ගැටුමක් හටගෙන තිබෙනවා. මීරිගම - වේවැල්දෙණිය මාර්ගයේදී අපේක්‍ෂකයෙකුගේ ආධාරකරුවන් ගමන් ගත් ඩිෆෙන්ඩර් රථයක ගැටී යුවළක් තුවාල ලැබූ සිද්ධියක්ද වාර්තා වනවා.