Monday, May 13, 2024

General line - 0115112241

ඩයමන්ඞ් නෞකාවේ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් ගත යුතු නීතිමය කි‍්‍රයාමාර්ග ගැන සාකච්ඡාවක්




නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමකට ලක්ව ඇති MT නිව් ඩයමන්ඞ් නෞකාව සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳ සොයා බැලීම සඳහා අද (06) උදෑසන දිවයිනට පැමිණි විදේශීය විශේෂඥ කණ්ඩායම කල්මුණේ ප‍්‍රදේශයට පිටත්ව ගොස් තිබෙනවා.

එම පිරිස කල්මුණේ සිට නාවික හමුදාව මගින් ඩයමන්ඞ් නෞකාව රඳවා ඇති මුහුදු කලාපය වෙත රැගෙන යාමට නියමිත බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසුවේ.

අදාළ විශේෂඥ කණ්ඩායම රැගත් විශේෂ ගුවන් යානය අද උදෑසන 6.55 ට පමණ මත්තල ගුවන් තොටුපළ වෙත ළගා වූ බවයි ගුවන් තොටුපළ නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එම විශේෂඥ කණ්ඩායමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර නෙත් නිවුස් කළ විමසීමකදී මෙලෙස කරුණු පැහැදිලි කළා.

එහිදී පෙන්වා දුන්නේ "අදාළ නෞකාවේ රක්ෂණ සමාගමේ නිලධාරීන් කණ්ඩායමක්, තෙල් නැව් හිමිකරුවන්ගේ සංගමයේ සාමාජිකයින් දෙදෙනෙක්, වෙළඳ නාවික නීතිය පිළිබඳ විශේෂඥ නීතිඥවරයෙක් වශයෙන් මෙලෙස පැමිණ තිබෙනවා. එහිදී නැවේ තක්සේරු වාර්තාවක් ලබා දෙනු ඇති." යනුවෙනි.

මේ අතර, MT නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්යමණ්ඩලයට එරෙහිව ගත යුතු නීතිමය කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. MT නිව් ඩයමන්ඞ් නෞකාවේ හටගත් ගින්න නිවා දැමීමේ මෙහෙයුම්වලට එක්ව සිටින පාර්ශ්ව සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු තවත් ආයතන කිහිපයක නිලධාරීන් ඊට එක්වීමට නියමිතයි.

ගින්න හටගත් අවස්ථාවේ නෞකාවේ කපිතාන්වරයා නිසි ආරක්ෂණ ක‍්‍රමවේදයන් අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් ගතයුතු නීතිමය කි‍්‍රයාමාර්ග සහ රක්ෂණ වන්දි ලබාගැනීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර වැඩිදුරටත් සඳහන් කළේ්. 

මේ අතර, MT නිව් ඩයමන්ඞ් නෞකාවේ ගින්න සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීම සඳහා යාත‍්‍රා 15 ක් යොදවා තවදුරටත් මෙහෙයුම් කි‍්‍රයාත්මක බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසුවා. ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව අද දිනයේ ද එම මෙහෙයුම් සඳහා එක්ව සිටිනවා.