Tuesday, May 14, 2024

General line - 0115112241

මීගමුව බන්ධනාගාරය ගැන විශේෂ අනාවරණයක්




මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 600 දෙනෙකු පමණක් රඳවා තැබීමට පහසුකම් ඇතත්, රැඳවියන් 2,400 කට වැඩි පිරිසක් මේ වනවිට එහි රඳවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එම පිරිස පාලනය සඳහා බන්ධනාගාර නියාමකවරුන් 175 දෙනෙකු අවශ්‍ය වුවත් රාජකාරි සඳහා මේවනවිට සේවය කරනු ලබන්නේ නිලධාරීන් 104 දෙනෙකු පමණක් බවයි මීගමුව බන්ධනාගාර ආරංචි පැවසුවේ. 

මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් නඩු කටයුතු සඳහා අධිකරණ 14 ක් වෙත යන බවත්, එක් අධිකරණයක් සඳහා රැගෙන යන රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බන්ධනාගාර නියාමකවරුන් අවම වශයෙන් 5 දෙනෙකු යෙදවිය යුතු බවත්  බන්ධනාගාර ආරංචි පැවසුවා.

උදෑසන සහ රාත‍්‍රි රාජකාරි වෙනුවෙන් සහ අධිකරණ කටයුතු සඳහා නියාමකවරුන් යෙදවු පසු බන්ධනාගාරය තුළ විශේෂ රාජකාරි සඳහා යෙදවීමට අවම වශයෙන් අවශ්‍ය නිලධාරීන් ගණනවත් නොමැති බවයි අනාවරණ වුණේ. 

මීගමුව බන්ධනාගාරයට තහනම් භාණ්ඩ වැඩි වශයෙන් ලැබෙන්නේ බන්ධනාගාරයට පිටතින් පාර්සල් විසිකිරීම තුලින් බවට ද හඳුනාගෙන තිබෙනවා. එහෙත් ඒවා නතර කිරීමට නොහැකිව ඇත්තේ බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟය නිසා බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.