Friday, May 17, 2024

General line - 0115112241

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ට රජයෙන් සහනයක්




මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14% ක ආදායම් බද්ද සහ 155 ක් වූ රත‍්‍රං ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. 

1971 වසරේ සිට මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයට දී තිබූ ආදායම් බදු සහනය 2017 වසරේ හඳුන්වාදුන් ආදායම් බදු ප‍්‍රතිපත්තියෙන් ඉවත් කෙරුණා. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් උපයන සත්‍ය ආදායම හෙළි නොවන තත්ත්වයක් මේ හේතුවෙන් උද්ගත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

අනතුරුව 2018 වසරේදී රත‍්‍රං ආනයනය සඳහා 15% ක බද්දක් පනවනු ලැබුවා. ස්වර්ණාභරණ මිල ඉහළ යාමට මෙම බදු හේතු වී තිබෙනවා. ඒ අනුව අදාළ බදු කඩිනමින් ඉවත් කර මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ උන්නතියට පියවර ගත යුතු බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ. 

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මැණික් හා ස්වර්ණාභරණ ආශ‍්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී අද පැවැති සාකච්ඡාවේදීයි. 

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකායේ ප‍්‍රධානී බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති ලේකම් පී බී ජයසුන්ද ඇතුළු පිරිසක් එක්ව සිටියා. 

මැණික් සඳහා වන ලෝක වෙළඳපොලේ කේන්ද්‍රය බවට පත්වීමට ශ‍්‍රී ලංකාවට නොහැකිවීම ආශ‍්‍රිත ගැටළු නිරාකරණයට රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඉදිරිපත් කළ යෝජනා 14 ක්ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡුාවට ලක්ව තිබෙනවා. මැණික් කැනීම් බලපත‍්‍ර නිකුත් කිරීමේදී සිදුවන ප‍්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා අදාළ සියලූ ආයතන එක් තැනක ස්ථාපනය කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පැවසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. 

ස්වර්ණාභරණ නිෂ්පාදකයන් සහ සාම්ප‍්‍රදායික ස්වර්ණාභරණ ශිල්පීන්ට රත‍්‍රං මිලදී ගැනීමට රාජ්‍ය බැංකු මගින් සියයට 4 ක සහන පොලියක් යටතේ රුපියල් ලක්ෂ 10 ක ණය මුදලක් සපයන ලෙසට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය බැංකුවලට උපදෙස් ලබා දුන්නා. 

වතු සමාගම්වලට අයත් මැණික් ඉල්ලම් සහිත වගා නොකළ ඉඩම් මැණික් කර්මාන්තයට නිදහස් කර ගැනීමට ඇති බාධක ඉවත් කර, කැනීම් සඳහා පවරා ගැනීමට ද තීරණය කර තිබෙනවා. රත්නපුර, දෙමුවාවත ඉදිකිරීමට සැලසුම් කර ඇති මැණික් අලෙවි සංකීර්ණයේ සහ පුහුණු මධ්‍යස්ථානයේ වැඩ කඩිනම් කරන ලෙසයි ජනාධිපතිවරයා මෙහිදී අදාළ පාර්ශව වෙත උපදෙස් ලබාදී ඇත්තේ. රත්නපුර දිස්ති‍්‍රක්කයේ මැණික් බහුල ප‍්‍රදේශවල අනවසර මැණික් ගැරීම් මහා පරිමාණයෙන් සිදුවනවා. 

යන්ත‍්‍ර සූත‍්‍ර යොදා ගනිමින් පරිසරයට හානි වන අයුරින් සිදුකෙරෙන මැණික් ගැරීම් වහාම නැවැත්වීමට හා සාම්ප‍්‍රදායික මැණික් ගැරීමේ නිරතවූවන්ට ඇති බාධක ඉවත් කරන ලෙසට ද, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී උපදෙස් ලබාදී තිබෙනවා.