Tuesday, May 21, 2024

General line - 0115112241

20 වන සංශෝධනයට සමගි ජනබලවේගය විරුද්ධ වීමට තීරණය කරයි




20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධවීමට හා එය  පරාජය කිරීමට කොන්දේසි විරහිතව කටයුතු කිරීමට සමගි ජනබලවේගය අද තීන්දු කළා. 

ඒ සමගි ජනබලවේගයේ මන්ත‍්‍රී කණ්ඩායම, විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 2 දී අද රැස්වූ අවස්ථාවේදියි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ විසින් ඒ පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළ අතර කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ විසින් එය ස්ථීර කරනු ලැබුවා. 

19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම වඩාත් ශක්තිමත් කර එය ඉදිරියට රැුගෙන යාමත් සිය ස්ථාවරය බවයි සමගි ජනබලවේගයේ මන්ත‍්‍රි  කණ්ඩායම මෙහිදී තීන්දු කර ඇත්තේ. 

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට එරෙහිව සමගි ජනබල වේගය ඉදිරියේදි නීතිමය පියවර ගන්නා බවයි එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි තිස්ස අත්තනායක ප‍්‍රකාශ කළේ.

මේ අතර ‘‘19න් ඉදිරියට’’ තේමාව කර ගනිමින් ජනතා විරෝධතාවයක් සමගි ජනබලවේගය විසින් හෙට දිනයේ සංවිධාන කර තිබෙනවා. හෙට සවස 4ට ජපන් මිත‍්‍රත්ව මාවතේ පිහිටි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පිලිරුව අසලදී මෙය පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රි ඉරාන් වික‍්‍රමරත්න අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ.