Friday, May 17, 2024

General line - 0115112241

මුස්ලිම් වැසියන් වෙනුවෙන් වෙනම පරිපාලන දිස්ති‍්‍රක්කයක් ඉල්ලූ බව හකීම් පාස්කු කොමිසමේදී පිළිගනී




මෙරට ජීවත්වන දමිළ බස කතාකරන මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත‍්‍රික්කයක් අවශ්‍ය බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවුෆ් හකීම්, පාස්කු ප‍්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ප‍්‍රකාශ කර තිබෙනවා.

එම කොමිසම හමුවේ ඊයේ රාත‍්‍රියේ සාක්ෂි ලබාදෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ දිගු කලෙක සිට සිදුකෙරෙන එම ඉල්ලීම, 2015 ජනාධිපතිවරණය අවසානයේ එවකට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට ද ඉදිරිපත් කළ බවයි.

පාස්කු ඉරුදින ප‍්‍රහාරයෙන් පසු සයින්දමරුදු නිවසක සිදුවු පිපිරීම් මාලාවෙන් මියගිය සහරාන් හෂීම්ගේ සොහොයුරු රිල්වාන් හෂීම් සමග හිටපු අමාත්‍ය රවුෆ් හකිම් සහ ශ‍්‍රී ලංකා මුස්ලීම් කොංග‍්‍රසයේ නියෝජිතයින් සිටි අයුරු දැක්වෙන මාධ්‍ය මගින් විකාශය කළ ඡායාරූප සහ විඩියෝ දර්ශන පෙළ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම ඊයේ විමර්ශනය කළා.

ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත‍්‍රී සිබ්ලි ෆාරුක් ඊයේ පැවසුවේ අදාළ ඡායාරූප, 2015 මහමැතිවරණයෙන් පසු එම් එල් ඒ එම් හිස්බුල්ලා, ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස නම් කිරීමත් සමග ඇතිවු ගැටුමෙන් තුවාල ලැබු සිය පාක්ෂික ගර්භනි කාන්තාවක් බැලීමට මඩකලපුව මහ රෝහලට ගිය අවස්ථාවේ අහම්බෙන් සිදුවු හමුවීමක ඡායාරූප බවයි.

කෙසේවෙතත් ඊයේ පස්වරුවේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්, එම ඡායාරූප වල සිටින මොහොමඞ් සියාඞ් නම් කාන්තන්කුඩියේ නාගරික මන්ත‍්‍රීවරයෙකු කියා සිටියේ අදාළ දිනයේ හිටපු අමාත්‍ය රවුෆ් හකීම් සහ සිබ්ලි ෆාරුක් රෝහලට ගියේ තුවාල ලබා සිටි ගර්භනි කාන්තාවක් බැලීමට නොව සෘජුවම සහරාන් හෂීම්ගේ සොහොයුරු රිල්වාන් හෂීම් බැලීමට බවයි.

ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සදහා ශ‍්‍රී ලංකා මුස්ලීම් කොංග‍්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවුෆ් හකීම්ට ඊයේ ජනාධිපති කොමිසම කැදවීමක් කර තිබුණා. ඒ අනුව ඔහු ඊයේ පස්වරු 6.15 ට පමණ ජනාධිපති කොමිසම වෙත පැමිණියා. එහිදි ප‍්‍රශ්න ගත සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවුෆ් හකීම් මෙලෙස සාක්ෂි ලබාදුන්නා.