Tuesday, May 14, 2024

General line - 0115112241

විස්සට එරෙහි පෙත්සම් විභාගය අද සිවුවන දිනටත්




පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇති පෙත්සම් විභාගය සිව්වන දිනටත් අද උදෑසන ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වුණා. 

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප‍්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි. අදාළ පෙත්සම් සලකා බැලීම ඉකුත් 29 වනදා ආරම්භ කෙරුණු අතර එම පෙත්සම් සලකා බලන අවසන් දිනය අද බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. නීතිපති දප්පුල ද ලිවේරා අද දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වැඩිදුර දේශන සිදුකිරීමට නියමිතව තිබෙනවා. 

ඒ අනුව සියලූ‍ පාර්ශවයන්ගේ ලිඛිත දේශන හෙට දිනය වනවිට ගොනු කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය උපදෙස් ලබා දී ඇත්තේ. ඉන් අනතුරුව 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන්  ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ඔක්තෝබර් මස 13 වනදා වනවිට කතානායකවරයා වෙත යොමු කිරීමට නියමිතව තිබෙනවා. 

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්ති අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇති පෙත්සම් ගණන 39 ක්. සමගි ජනබලවේගය, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය සහ සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව විසින් එම පෙත්සම් ගොනු කර තිබෙනවා.