Tuesday, May 21, 2024

General line - 0115112241

පාස්කු ප‍්‍රහාරයට සම්බන්ද කුඩා වෑන් රථයක් කාත්තන්කුඩියෙන් සොයා ගැනේ

ජව්ෆර් කාන්




පාස්කු ඉරුදින සිදු වූ ත‍්‍රස්ත ප‍්‍රහාර මලාවට අදාල කුඩා වෑන් රථයක් නව කාත්තාන්කුඩි ප‍්‍රදේශයෙන් සොයා ගෙන තිබෙනවා. එම වෑන් රථය පාස්කු ඉරුදින සිද්ධ්ය සම්බන්ධව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර  සිටින  සැකකරුවෙකු භාවිත කළ වෑන් රථයක් බවටයි සැකකෙරෙන්නේ. මඩකලපුව දිස්ත‍්‍රික් අපරාධ විමර්ශන කොට්ඨාශයට ලැබුණු තොරතුරක් අනුව  නව කාත්තාන්කුඩි  රිස්වි නගර්හිදී එම වෑන් රථය පොලිස් භාරයට ගෙන ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.    

පාස්කු ඉරුදින ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ෂණ වලට අදාලව ඉකුත් වසරේ අපේ‍්‍රල් 25වන දින අත්අඩංගුවට ගෙන මේ වන විට මොණරාගල බන්ධනාගාරයේ රදවා සිටින සැකකරුගේ නමින්  මෙම වෑන් රථය  මිලදි ගෙන ඇති බවද අනාවරණ වී තිබෙනවා. එම වෑන් රථය පැදවු  රියදුරුද අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්දයෙන් පොලිසිය වැඩිදුර විමර්ශනය සිදු කරනවා.

මේ අතර හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසෙන මහතා, සාක්ෂි ලබා දීම සදහා පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබද විමර්ෂන කෙරෙන ජනාධිපති කොමිසම හමුවට අද පෙරවරුවේ පැමිණියා. හිටපු ජනාධිපතිවරයා එම කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට අද පැමිණියේ සිව්වන දිනටයි.

මේ අතර පාස්කු ඉරිදා ප‍්‍රහාරය සදහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් 20 දෙනෙකු සූදානම් කර තිබූ බව එම ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පළමුවරට ඊයේ අනාවරණය වුණා. ඒ, ත‍්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාස නිලධාරීයෙකු එම කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදියි.

එමෙන්ම පළමු ප‍්‍රහාරයෙන් පසුව අදියර 3 ක් යටතේ තවත් ප‍්‍රහාර මාලාවක් එල්ල කිරීමට  සහරාන් හෂීම් සැලසුම් කර තිබූ බව අත්අඩංගුවටගත් සහරාන්ගේ ගොලයෙකුගෙන් අනාවරණ වූ බවයි එම නිලධාරියා පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ප‍්‍රකාශ කර ඇත්තේ.