Tuesday, May 14, 2024

General line - 0115112241

දේශපාලන පලිගැනීම් විමර්ශන කොමිෂන් සභා වාර්තාව ජනපතිට භාරදෙයි




දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද පිළිගන්වනු ලැබුවා. කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න විසින් අද  (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා වෙත වාර්තාව භාර දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

2020 ජනවාරි මස 09 වන දින මේ ත්‍රිපුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කෙරුණා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, FCID, CID සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය යන ආයතන විසින් සිදු කරන ලද විමර්ශන නිසා 2015 ජනවාරි මස 08 වනදා සිට 2019 නොවැම්බර් 16 වනදා දක්වා දේශපාලන පලිගැනීමට ලක්වූවන් පිළිබඳව සහ ආශ්‍රිත පසුබිම සොයා බැලීම කොමිෂන් සභාව වෙත පැවරුණා.

කොමිසම බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදු කර ඇත. 

පුවත් පත් දැන්වීමට අනුව ලැබුණු පැමිණිලි 1971ක් විමර්ශනයට ඉදිරිපත් කර තිබු අතර  වාර්තාව වෙළුම් 03කින් සහ පිටු 2043කින් සමන්විතය.

ත්‍රි පුද්ගල කොමිසමේ සෙසු සාමාජිකයෝ වන විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක, විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු, කොමිසමේ ලේකම් පර්ල් වීරසිංහ සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග  මේ අවස්ථාවට එක්ව සිටියා.