Wednesday, May 15, 2024

General line - 0115112241

පර්යේෂණයෙන් තහවුරු වුවහොත් තවත් දින 03කින් කොරෝනා බෙහෙත රෝගීන්ට - අමාත්‍ය විමල් විරවංශ 




රජරට විශ්වවිද්‍යාලය තුළ කොවිඩ් ප්‍රතිජීවක පානය සම්බන්ධයෙන් දැනට සිදුකරන පර්යේෂණවලින් එය රෝගීන්ට ලබාදීමට හැකි බවට සනාථ වුවහොත් තවත් දින 3ක් තුල එම ඖෂධය කොරෝනා රෝගීන් සඳහා ලබා දිය හැකි බව කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ සඳහන් කර සිටිනවා. 

කෑගල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු විසින් සොයා ගනු ලැබූ කොරෝනා ප්‍රතිජීවක පානය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

එම ඖෂධයෙන් රෝගීන් සුවපත් වෙනවා නම් එම බෙහෙත ඔහුට කීවේ 'කාලි මෑණියන්ද?' යන්න අප ගැටලුවක් කරගත යුතු නැහැ. බෙහෙතින් රෝගය සුව වෙනවා නම් එම වට්ටෝරුව ඔහුට ලැබුණ විදිහ ගැන ඔහු පවසන දෙය අපට පිළිගැනීමට සිදු වේවි. එය අපට නොතේරුණා කියා ප්‍රතික්ෂේප කළ නොහැකියි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

" අපේ රටේ යම් වෙනසක් කිරීමට අලුතින් සිතන පුද්ගලයකුට ලබා දෙන උත්තේජනයට වඩා වැඩියි ඔහු එහෙම හිතන එක වැලැක්වීමට ඇති කරනු ලබන පීඩනය. නිදසුනක් ලෙස කොරෝනාවලට යම් බෙහෙතක් සොයා ගත් බව වාර්තා වන මහත්මයා පත්ව ඇති තත්වය පෙන්වා දිය හැකියි. එම බෙහෙත සායනික පරීක්ෂණ කිහිපයකින් හොඳ බෙහෙතක් බව සනාථ වී තිබෙනවා. තවදුරටත් ඒ පිළිබඳව පර්යේෂණ සිදු කෙරෙමින් පවතිනවා. ඒ බෙහෙත ගැනයි සොයා බැලිය යුත්තේ. 

නමුත් දැන් ඇතැම් අය සියලු වැඩ නතර කර ඒ බෙහෙත හදපු කෙනා පිළිබඳව සොයනවා. ඔහු ආයුර්වේද වෛද්‍යවරයෙක්ද, ඔහුට සහතික තිබෙනවාද, ඔහු කපුවෙක්ද කියා සොයා බලනවා. මේ අය එදා සිටියා නම් ලෝවාමහාපාය හදපු කෙනාගෙ 'උපාධි සහතිකය' ඉල්ලා සිටීවි. 

දැනුම කියන්නේ මිනිසුන් අතරින් උපදින දෙයක්. අද අප නොදන්නා දෙයක් හෙට ඉතා සාමාන්‍ය මිනිසකු අතින් උපදින්න පුළුවන්. එදා සර් අයිසැක් නිව්ටන් ඇපල් ගසක් යට නොසිටියා නම් අප අදත් ගුරුත්වාකර්ෂණ බලය කියා දෙයක් නොදැන සිටීමට තිබුණා. එදා ඔහු කළ ශ්‍රේෂ්ඨ සොයා ගැනීම ඔහු ලබාගත් සහතික ඉල්ලමින් නොසලකා සිටියා නම් එය කොතරම් වැරදිද? නූතන විද්‍යාවට හසුනොවන දැනුම් පද්ධති ලෝකය පුරා බොහෝමයක් තිබිය හැකි" 

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ස්ථාපනය කොට ඇති ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) මගින් විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිටින නව ව්‍යාපාරික අදහස් ඇති උපාධිධාරි ව්‍යවසායකයින් වෙත සිය ව්‍යාපාර ආරම්භ කිරීමට සහ පවත්වාගෙන යාමට අවශ්‍ය මුල්‍යමය ප්‍රතිලාභ ලබාදීමේ ජාතික වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.