Friday, May 17, 2024

General line - 0115112241

කොරෝනා මරණ 150 ඉක්මවයි - ඊයේ දිනයේ පුද්ගලයන් තිදෙනෙක් මිය යයි




කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරටදී මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 150 සීමාව ඉක්මවා ගියා.

ඒ, ඊයේ වාර්තා වූ කොරෝනා මරණ 3 ත් සමගින්. ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 152 ක් බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. 

ඊයේ වාර්තා වූ මියගිය තිදෙනාගෙන් දෙදෙනෙකුම කාන්තාවන් වනවා. කොළඹ 10 ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 62 ක් වූ කාන්තාවක් සහ වත්තල ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 71 ක් වන කාන්තාවක් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. 

ඔවුන් කොළඹ අයි ඞී එච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ. වයස අවුරුදු 76 ක් වූ අනෙක් පුද්ගලයා මාතලේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු අනුරාධපුර දිස්ති‍්‍රක් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අතර, ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා රෝගීන් 650 ක් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 32,790 ක් දක්වා ඉහළ ගියා. කෙසේවෙතත් ඉන් 23,793 දෙනෙකු මේ වනවිටත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. 

තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 8,845 ක්.     

මේ අතර, කොවිඞ් 19 සදහා සොයාගත් දේශීය ප‍්‍රතිකාර ක‍්‍රම සහ ඖෂධ සම්බන්ධ විද්‍යානුකූල තහවුරු කිරීම් කඩිනම් කරන්නැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ජාතික පර්යේෂණ සභාවට දැනුම් දී තිබෙනවා. 

කොවිඞ් 19 සදහා සොයාගත් දේශීය ඖෂධ ප‍්‍රතිකාර සම්බන්ධයෙන් නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනින් ද අද සාකච්ඡුා කෙරෙනවා. ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයෙන් අනතුරුව එම වැඩසටහන සමග ඔබට ද එක්විය හැකියි.