Thursday, May 16, 2024

General line - 0115112241

කාර්යයාලවලට සීමා නොවී ගමට ගොස් වැඩ කරන්නැයි ජනපතිගෙන් මැති ඇමති සහ නිලධාරීන්ට උපදෙස්




මෙරට වගා කළ හැකි දේ වගා කර පිටරට ගොවියාට යන මුදල් දේශීය ගොවියාගේ අතට ඒමට සලස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා ගොවි ජනතාවට අවශ්‍ය ජලය, පොහොර, තාක්ෂණ දැනුම සැපයීමට මෙන්ම ඉඩම් ගැටළු විසඳීමට ද රජය ප‍්‍රමුඛතාව ලබා දී ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ. 

ගම සමග පිළිසඳරක් තුළින් වැඩ සමග යළි ගමට ජාතික වැඩසටහන පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා අරලියගහ මන්දිරයේ අද පෙරවරුවේ පැවති විශේෂ වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

නීති - රීති මත නොව ජනතාව දෙස බලා ග‍්‍රාමීය ගැටළු විසඳීමට පියවර ගැනීම වැදගත් බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ. එබැවින් කාර්යයාලවලට සීමා නොවී ගමට ගොස් ජනතාව පෙලෙන ප‍්‍රශ්න හඳුනාගෙන වැඩ කිරීම නිලධාරීන්ගේ යුතුකමක් සහ වගකීමක් වන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පෙන්වා දුන්නා. 

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා. එහිදී අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, මෙවර අයවැය ගොවි, ධීවර සහ කර්මාන්තවල නිරත ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම අරමුණු කරගත් එකක් බවයි. 

එය කි‍්‍රයාත්මක කිරීමට විදේශීය විශේෂඥයින්ගේ හෝ උපදේශකයින්ගේ සහය අවශ්‍ය නොවන බව ද අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. 

මෙම අවස්ථාවට කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන්, ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ, දිස්ති‍්‍රක් හා ප‍්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.