Thursday, May 16, 2024

General line - 0115112241

විදෙස් තානාපති කාර්යාල සේවකයෙකුගේ නමට නීති විරෝධිව ගෙන්වූ වාහන 12ක් රේගු භාරයට 

ටී.කේ.ජී.කපිල - කටුනායක




විදුලි ජනක යන්ත්‍ර කොටස් ලෙස ප්‍රකාශ කරමින් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කළ රුපියල් පන් කෝටි පනස් ලක්ෂයක් වටිනා මෝටර් රථ 12 ක් කොළඹ වරාය පරිශ්‍රයේ දී අද දින ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් රේගු භාරයට ගෙන තිබෙනවා.

කොළඹ, ඔරුගොඩවත්ත වැලිගම්පිටිය ග්‍රේ ලයින් බහාලුම් අංගනයේ දී මෙම බහාලුම් විවෘත කිරීම සිදු කළ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න පැවසුවේ.

කිලෝග්‍රෑම් 12,140 බරැති මෙම අඩි 40 ක් දිග බහාලුම් 03 ක් සිංගප්පූරුවේ සිට කොළඹ ප්‍රධාන පෙළේ රටකට අයත් මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරනු ලබනු පුද්ගලයෙකුගේ නමට තානාපති වරප්‍රසාද යටතේ කොළඹ වරායට එවා තිබු බවයි රේගු ආරංචි මාර්ග සඳහන් කළේ.

නමුත් මෙම බහාලුම් පිළිබඳව රේගු අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරීන්ට ඇති වූ සැකය මත මේ පිළිබඳව සොයා බැලීමේදී මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීවරයා එවැනි ආනයනයක් සිදු කර නොමැති බව අනාවරණය විය.

ඒ අනුව රේගු නිලධාරීන් විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කර , කොළඹ වරායේ සේවය කරන වාප්පු ලිපිකරුවකු පසුගිය ජනවාරි මස 07 වෙනිදා දින අත් අඩංගුවට ගෙන කොළඹ අලුත්කඩේ අංක 06 මහේස්ත්‍රාත් අධිකරණයේ ලෝචනා අබේවික්‍රම මහත්මිය වෙත ඉදිරිපත් කළ අතර එහිදී මෙම සැකකරු මේ මස 20 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

අද දින මෙම බහාලුම් 03 මාධ්‍යවේදීන් හමුවේ විවෘත කර පරීක්ෂා කර බැලීමක් සිදු කළ අතර එහිදී ඒ තුළ තිබූ ටොයෝටා හයි ඒස් වෑන් රථ 02 ක්, ටොයෝටා විට්ස් කාර් රථ 03 ක්, නිසාන් මිනි වෑන් 01 ක්, හයි ජෙට් මිනි වෑන් 03 ක් සහ හස්ට්ලර් වැගන් රථ 03 ක් ද රේගු නිලධාරීන් විසින් සොයාගෙන සිය භාරයට ගනු ලැබුවා.