Friday, May 17, 2024

General line - 0115112241

පෑලියගොඩ 90 වත්ත හුදෙකලා කරයි : තවත් කොවිඩ් ආසාදිතයින් 310ක් වාර්තා වෙයි 




අද පස්වරු 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි පෑලියගොඩ පොලිස් වසමේ ගඟබඩ ග්‍රාම නිලධාරි වසමේ 90 වත්ත ප්‍රදේශය හුදෙකලා කිරිමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර අද සවස වන විට තවත් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 310 දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 49,259ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම ආසාදිතයින් ගෙන් 56 දෙනෙකුම බොරැල්ල ගෝතමී පාරේ පදිංචිව සිටින පුද්ගලයින් ආශ්‍රිතව සිදුකළ PCR පරීක්ෂණ මගින් හඳුනා ගනු ලැබූ ආසාදිතයින් බවයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර අද වන විට සුවය ලබා ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 42,621ක් වන අතර රෝහල් ගතව සිටින රෝගීන් සංඛ්‍යාව 6,398ක්.