Thursday, May 16, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ තවත් මන්තී‍්‍රවරුන් 16 කට අදත් PCR පරීක්ෂණ




තවත් පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් 16 දෙනෙකුට අද දිනයේදී PCR පරීක්ෂණ සිදුකර තිබෙනවා. නෙත් නිවුස් කළ විමසීමකදී පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු පැවසුවේ අද දිනයේදී පාර්ලිමේන්තුවේ 493 දෙනෙකුට PCR පරීක්ෂණ සිදුකළ බවයි.

ඒ අතරට පාර්ලිමේන්තු කාර්යය මණ්ඩල සාමාජිකයින් සහ ආරක්ෂක නිලධාරීන් ද අයත්. අද දිනයේ සිදුකරනු ලැබූ එම PCR පරීක්ෂණවල වාර්තා හෙට හෝ අනිද්දා නිකුත් වනු ඇති බවයි වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු වැඩිදුරටත් පැවසුවේ. 

මේ අතර ඉකුත් 13 වනදා PCR පරීක්ෂණ සිදුකළ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 15 දෙනාට, කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව අද තහවුරු වුණා. ඒ, එම මන්තී‍්‍රවරුන් 15 දෙනා ද ඇතුළුව ඉකුත් දා PCR පරීක්ෂණ සිදුකෙරුණු පාර්ලිමේන්තුවේ 463 දෙනෙකුගේ වාර්තා නිකුත් වීමත් සමගයි.  

ඒ අතරින් සිව්දෙනෙකුගේ වාර්තා පමණක් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවත්, අනෙක් පිරිසගේ PCR පරීක්ෂණ වාර්තාවල ගැටලූවක් නොමැති බවත්, වේත‍්‍රධාරිවරයා සඳහන් කළා. එලෙස වැඩිදුර පරීක්ෂණ සඳහා වාර්තා යොමු කෙරුණු සිව්දෙනා අතර කිසිඳු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු නොමැති බවයි වේත‍්‍රධාරීවරයා වැඩිදුරටත් පැවසුවේ.  

අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර හා පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාවුෆ් හකීම්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන්ට සහ කාර්යය මණ්ඩලයට මෙලෙස PCR පරීක්ෂණ සිදුකෙරෙනවා.