Tuesday, May 14, 2024

General line - 0115112241

ලෝකයෙන් වඳ වූ උභයජීවි විශේෂ 35න් 21 ශ්‍රී ලංකාවට අවේනික බව හෙලි වෙයි




ලෝකයෙන් තුරන් වී ඇති උභයජීවි විශේෂ 35 අතරින් විශේෂ 21ක්ම ශ්‍රී ලංකාවට ආවේණික උභයජීවි විශේෂ බව පරිසරවේදීන් පවසනවා. ශ්‍රී ලංකාවට ආවේණික මෙම උභයජීවි විශේෂ, ලෝකයට අහිමී වී ඇත්තේ පසුගිය දශකයක කාලයක් තුළ වීම විශේෂත්වයක්. 

මෙරටට අවේනික ශාක හා සත්ව කොටස් මෙන්ම වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇති මෙරටට අවේනික ශාක හා සත්ව කොටස් සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහක් මතුව තිබෙනවා. ඒ, ලෝකයෙන් වඳ වී ගොස් තිබූ බවට රතු දත්ත පොතටද ඇතුළත්ව තිබු පණුකරඳ හෙවත් කෘඩියා සිලනිකා ශාකය ගම්පහ දාරලුව ප්‍රදේශයෙන් හමු වීමත් සමගයි.

2012 වසරේ අවසන් වරට නිකුත් කෙරුණු මෙරට ජාතික රතු දත්ත පොතෙහි 262 පිටුවෙහි දක්වා තිබුණේ පණුකරඳ හෙවත් කෘඩියා සිලනිකා ශාකය වඳ වි ගිය ශාකයක් ලෙසයි. 

මෙම ශාකය මෙන් වඳ වී යාමේ තර්ජනයේ පවතින තවත් ශාක විශේෂ 10කට ආසන්න සංඛ්‍යාවක් මෙරටින් හඳුනාගෙන ඇති බවයි පරිසරවේදීන් පවසන්නේ. ඒ අනුව ඔවුන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීරගෙන් ඉල්ලා සිටින්නේ වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති ශාක හා සත්ව විශේෂ ආරක්ෂා කර ගැනීම සඳහා ගැසට් නිවේදනයක් පල කරන ලෙසයි. 

පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ නිසි අවධානයට යොමු නොවීම හේතුවෙන් ඇතැම් ශාක මෙන්ම සත්ව විශේෂද වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින බවයි. 

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් හේතුවෙන් තර්ජනයකට ලක්ව ඇති ගම්පහ දාරුලුව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකාවේ වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇති දුර්ලභ ශාකයක් වන ක්‍රොඩියා සෙයිලනිකා ශාකය කපා නොදමන බව පරිසර අමාත්‍යංශය දැනටමත් ප්‍රකාශ කර අවසන්. ඒ අනුව වෙනත් විකල්ප ලෙස අධිවේගී මාර්ගය එම ශාකය අසලින් වෙනස් කර ඉදිකිරීමට හෝ නව තාක්ෂණය යොදා ශාකය ආරක්ෂිතව ගලවා සුදුසු පරිසරයක නැවත රෝපණය කිරීම යන පියවර දෙකෙන් එකක් ගැනීමටයි තීරණය වී ඇත්තේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගම්පහ දාරළුව ප්‍රදේශයෙන් හමුවූ කෲඩියා සිලනිකා ගස නැරඹීමට ඊයේ ගිය අතර පසුව ඔහු ෆේස්බුක් සටහනක් තබමින් සඳහන් කළේ, එම ශාකය එම ස්ථානයෙන් ඉවත්කර සංරක්ෂණය කිරීම කළ හැකි කාර්යක් ලෙස තමා විශ්වාස නොකරන බවයි.  එම ශාකයේ ප්‍රමාණය, මූල පද්ධතිය සහ වයස සැලකීමේදී කිසිලෙසක එම ශාකය එම ස්ථානයෙන් ඉවත් කර සංරක්ෂණය කිරීම කළ හැකි කාර්යයක් ලෙස තමා විශ්වාස නොකරන බවද හිටපු ජනාධිපතිවරයා පවසනවා.

මේ අතර මුතුරාජවෙල රක්ෂිතය විනාශ කිරීමට එරෙහිව බෝපිටිය ශාන්ත නිකොලා දේවස්ථානයේ සිට පමුණුගම දක්වා ඊයේ විරෝධතා රථ පෙළපාලියක් ද පැවැත්වුණා.