Tuesday, May 21, 2024

General line - 0115112241

මෝදිගේ BJP පක්ෂය ශ්‍රී ලංකාවට රිංගන්න සැරසෙයි




ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද නියෝජනය කරන BJP හෙවත් භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව තුළ ද පිහිටු වීමට සැලසුම් කර තිබෙනවා. එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහා ඒ පිළිබඳ නිල ප්‍රකාශයක් සිදු කර ඇති බවයි ඉන්දියාවේ එන් ඩී ටී වී පුවත් සේවය අද වාර්තා කළේ. 

ඉන්දියාවේ පැවැති මහජන සමුළුවකදී ඔහු පවසා ඇත්තේ අසල්වැසි ශ්‍රී ලංකාව තුළ භාරතීය ජනතා පක්ෂයක් ඇති කිරීමට පක්ෂය විසින් අදහස් කරගෙන ඇති බවයි. ශ්‍රී ලංකාව තුළ පක්ෂය භාරතීය ජනතා පක්ෂය ස්ථාපනය කිරීමෙන් පසු මැතිවරණයන්ට ඉදිරිපත් වීමටද ඔවුන් සැලසුම් කර ඇති බව ඉන්දීය මාධ්‍යන් හි සඳහන්. ශ්‍රී ලංකාවට අමතරව ඉදිරි කාලය තුළ නේපාලයේ ද සිය පක්ෂයේ සංවිධාන කටයුතු ආරම්භ කිරීමටයි භාරතීය ජනතා පක්ෂය සූදානම් වන්නේ. ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහා පවසන්නේ භාරතීය ජනතා පක්ෂය ගෝලීය පක්ෂයක් බවට පත්කිරීම මෙහි අරමුණ බවයි. 

මේ අතර ඉන්දීය මාධ්‍ය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ සඳහන් කළේ කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට යෝජනා කර ඇති බවයි. එමෙන්ම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබානොදීමට චීනයෙන් බලපෑමක් එල්ල නොවු බවද ඔහු පවසා තිබුණා.