Tuesday, May 21, 2024

General line - 0115112241

රට වැසීමට තරම් බ්‍රිතාන්‍යය නව වෛරසය ව්‍යාප්ත වී නැහැ - සෞඛ්‍ය අංශ අවධාරණය කරයි




බ්‍රිතාන්‍යයේ පැතිර යන කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය මෙරටදීද හඳුනා ගැණුනද එහි බලපෑම අවම බව සෞඛ්‍ය අංශ පවසනවා. ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා පැවසුවේ රට හෝ ප්‍රදේශයක් වසා දැමීමේ තත්ත්වයක් මෙතෙක් ඇති වී නොමැති බවයි.

බ්‍රිතාන්‍යයේ පැතිර යන කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය මෙරටට පැමිණ ඇත්තේ සයිප්‍රසය, ජෝර්දානය සහ ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින්ගෙන් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අද ප්‍රකාශ කළා. මෙම කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 16 දෙනෙකු මෙරටින් සොයා ගෙන ඇති අතර ඉන් 13 දෙනෙකුම සොයා ගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවල සිටියදීයි. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර නෙත් නිවුස් වෙත පැවසුවේ දැනට නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආසාදිතයින්ගේ සාම්පලද පරීක්ෂා කර බැලීම වඩා වැදගත් බවයි. මේ අතර මේ දක්වා මෙරටින් කොවිඩ් ප්‍රභේද 26ක් සොයා ගෙන ඇති බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් පැවසුවේ.