Tuesday, May 14, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සිට කොරෝනා මර්ධන එන්නත




පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පළමුවරට කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ කටයුතු අද ආරම්භ වනවා. පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසුවේ නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී එම කටයුතු සිදුවන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 07 දෙනෙකුට මෙන්ම කාර්යය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුටම කොරෝනා වෛරසය ආසාදනය වූ බව මීට පෙර තහවුරු වුණා. කෙසේවෙතත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා අද දිනයේ එන්නත් කිරීමක් සිදු නොවන බවත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් පාර්ලිමේන්තු වේත්‍රධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර බන්ධනාගාර නිලධාරීන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ කටයුතු ද අද දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පැවසුවේ ඒ යටතේ බන්ධනාගාර නිලධාරීන් 5,100 කට පමණ කොවිඩ් මර්ධන එන්නත ලබාදීමට නියමිත බවයි.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිඩ් මර්දන එන්නත මෙරට සාමාන්‍ය ජනතාවට ලබාදීම ඊයේ ආරම්භ කෙරුණා. ඒ, කොළඹ මහනගර සභාවේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ සේවයේ නියුතු 552 දෙනෙකු එන්නත් කිරීම ආරම්භ කරමින්.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නෙත් නිවුස් වෙත  පැවසුවේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සාර්ථක කර ගැනීමට ජනතා සහය අත්‍යාවශ්‍ය බවයි.

කොරෝනා මර්ධන එන්නතේ පළමු මාත්‍රාව එන්නත් කළ පුද්ගලයින් සඳහා එහි දෙවන මාත්‍රාව සති 12 කදී එන්නත් කිරීමට මේවනවිට සැලසුම් කරමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ වැඩිදුරටත් පැවසුවේ. 

මේ අතර ඉකුත් ජනවාරි මස 29 වන දා සිට මේ දක්වා කාලය තුලදී මෙරටදී කොවිඩ් මර්ධන එන්නත ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව එක්ලක්ෂ 92,938 ක් වනවා. ඊයේ දිනයේදී පමණක් පුද්ගලයින් 3,589 දෙනෙකුට මෙරටදී කොවිඩ් මර්ධන එන්නත ලබාදුන් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.