Saturday, May 11, 2024

General line - 0115112241

නියෝජ්‍ය පොලිස්පතිනියට එරෙහි පෙත්සම සලකා බැලීම මැයි 18 

අධිකරණ වාර්තාකරු




මෙරට  ප්‍රථම කාන්තා  නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස බිම්ශානී ජාසින්හ ආරච්චි හට මෑතකදී  ලබාදුන් උසස්වීම බල රහිත කරන ලෙස ඉල්ලා  ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම මැයි මස 18 වෙනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

මෙම පෙත්සම අද දින විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවනු ලැබුවා. ඒ අනුව වගඋත්තරකරුවන් හට සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දෙන ලදී.

සම්මත උසස් වීම් පටිපාටියට පටහැනි වන අයුරින් මෙම උසස් වීම සිදු කර ඇති බවත් එය නීතිවිරෝධී බවට තීරණය කරන ලෙසට ඉල්ලා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ඇතුළු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 30 දෙදෙනකු විසින් මෙම පෙත්සම් ගොනු කර ඇත.

පොලිස්පතිවරයා, ජාතික පොලිස් කොමිසම, නීතිපතිවරයා සහ මෑතකදී නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත් වූ බිම්ශානී ජාසින්හ ආරච්චි ඇතුළු පිරිසක් මෙහි වගඋත්තර කරුවන් ලෙසට නම් කර ඇත.

මෑතකදී කරණ ලද උසස් වීම් වලදී මෙරට ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස බිම්ශානී ජාසින්හ ආරච්චි උසස් කිරීමට වගඋත්තරකරුවන් කටයුතු කළ බව පෙත්සමෙහි  සදහන් වේ.

එහෙත් එම රෙගුලාසි වල "කාන්තා" යන වචනය සදහන් නොවන නිසා මෙරට කිසිදු පොලිස් නිලධාරීනියකට නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත් විය  නොහැකි බව පෙත්සමෙහි සදහන් වේ. එබැවින් මෙම උසස් වීම නීතිවිරෝධී වන බැවින් එය අවලංගු කරන ලෙස පෙත්සම මගින් ඉල්ලා ඇත.