Friday, May 17, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකුට අද කොරෝනා එන්නත




පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකු අද දිනයේදී කොරෝනා මර්දන එන්නත ලබාගෙන තිබෙනවා. නෙත් නිවුස් කළ විමසීමකදී පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් පරිසක් මෙලෙස කොරෝනා මර්ධන එන්නත ලබාගෙන ඇති බවයි.

නාරාහේන්පිට පිහිටි යුද්ධ හමුදා රෝහලේදී ඔවුන් මෙලෙස කොරෝනා මර්ධන එන්නත ලබාගෙන තිබෙනවා. හෙට සිට ලබන සිකුරාදා දක්වා ද පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හට එම රෝහලේදී කොරෝනා මර්ධන එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරෙන බවයි වේත්‍රධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.  

කෙසේවෙතත් අමාත්‍ය මහින්දානන්ද ප්‍රකාශ කළේ කොරෝනා මර්දන එන්නත මෙම අවස්ථාවේ තමන් ලබා නොගන්නා බවයි. ඒ, අද පැවති මාධ්‍ය හමුවකදීයි.

එමෙන්ම තමන්ද එම එන්නත මේ මොහොතේ ලබා නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ටිවිට්ර් සටහනක් නිකුත් කරමින් සඳහන් කර සිටියා. ප්‍රමුඛතාවය විය යුත්තේ බොහෝ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සහ ප්‍රමුඛ පෙළේ සේවකයින්ට එන්නත් කිරීම බවත් අවම වශයෙන් පුද්ගලයින් මිලියනයකටවත් එන්නත ලබා දීමෙන් පසුව එම එන්නත ලබා ගැනීමට තමන් කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ට්ටිටර් සටහනේ සටහන් කර තිබෙනවා.

මේ අතර තමන් ද කොරෝනා මර්ධන එන්නත මේ මොහොතේ ලබා නොගන්නා බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර පැවසුවේ. 

මේ අතර නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක අද කොරෝනා මර්දන එන්නත ලබාගත්තා. ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ එම වැඩසටහන සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

තමන්ද කොරෝනා එන්නත ලබාගත් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල ද පැවසුවා. ඒ, කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර මෙම එන්නත ලබාදෙන්නේ කුමන සුදුසුකමක් යටතේ දැයි රජය මෙතෙක් ජනතාව දැනුවත් කර නොමැති බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.  පුත්තලම, කල්පිටිය ප්‍රදේශයේ ජනහමුකදී විපක්‍ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා.