Tuesday, May 21, 2024

General line - 0115112241

කැලෑ කැපීමට කිසිවෙකුටත් අවසර දී නොමැති බව ගම සමග පිළිසඳරේදී ජනපති කියයි




කැලෑ කැපීමට තමන් කිසිවෙකුටත් අවසර ලබාදී නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. පාරම්පරිකව වගා කටයුතු සිදු කළ ඉඩම් සම්බන්ධයෙන් ජනතාවට පවතින ගැටළු විසඳා දෙන ලෙස තමන් ලබාදෙන උපදෙස් ඇතැමුන් වැරදි ලෙස වටහාගෙන ඇති බවයි කරුවලගස්වැව ප්‍රදේශයේ අද පැවති ගම සමග පිළිසඳර 11 වන අදියරයට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ. තමන් ගමට ගොස් ජනතා ගැටළු විසඳීම සම්බන්ධයෙන් විරුද්ධවාදීන් බියට පත්ව ඇති බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා. 

රජයේ නිලධාරීන් තනි - තනිව වැඩ නොකොට සාකච්ඡා කර සාමූහිකව ජනතා ප්‍රශ්නවලට විසඳුම් දිය යුතු බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පෙන්වා දුන්නා. 

ජනතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වන දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම්වලට තීරණ ගැනීමේ බලය ඇති නිලධාරීන් අනිවාර්යයෙන් සහභාගී විය යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ. 

වගකිවයුතු නිලධාරීන්ගේ නිසි දායකත්වය නොලැබීම ඵලදායී ව්‍යාපෘති ප්‍රමාදයට සහ ඒවායේ ප්‍රතිලාභ ජනතාවට අහිමිවීමට මුලික හේතුව බව “ගම සමග පිළිසඳර” ආරම්භයේ පටන් තමා අවබෝධ කරගත් බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළා.