Tuesday, May 7, 2024

General line - 0115112241

කොදෙව් සංචාරයට පෙර පුහුණු තරඟයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් දස්කම්




බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර පුහුණුවක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අතර 20යි 20 පුහුණු තරගයක් අද පැවැත්වුණා. ඒ, දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් සහ දසුන් ශානකගේ නායකත්වනේ යුත් කණ්ඩායමක් සහ අතරයි.

මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දසුන් ශානකගේ කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 194ක් රැස්කිරීමට සමත්වුණා. දසුන් ශානක නොදැවී ලකුණු 62ක් රැස් කළේ පන්දු 27 කදීයි. ඊට හයේ පහර 4ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් වුණා. දිනේෂ් චන්දිමාල් ලකුණු 55ක් රැස් කළ අතර පැතුම් නිස්සංක ලකුණු 41ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ළහිරු කුමාර ලකුණු 35කට කඩුලු 2ක් බිද හෙලූ අතර, ලක්ෂාන් සදකැන් සහ විශ්ව ප්‍රනාන්දු අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්නගේ කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 175ක් පමණයි. දිමුත් කරුණාරත්න පන්දු 53 කදී ලකුණු 89ක් රැස් කළා. ඒ, හතරේ පහර 14ක් සහ එක් 6 පහරක් සමගින්.

පන්දුවෙන් දස්කම් දැක්වූ දුෂ්මන්ත චමීර ලකුණු 23කට කඩුලු 4ක් දවා ගත්තා. නුවන් ප්‍රදීප් ලකුණු 19කට කඩුලු 2ක් සහ වනිදු හසරංග ලකුණු 39කට එක් කඩුල්ලක් බිද හෙලුවා.

ඒ අනුව මෙම තරගයෙන් දසුන් ශානකගේ කණ්ඩායම ජය හිමිකරගත්තේ ලකුණු 19 කින්.