Tuesday, May 21, 2024

General line - 0115112241

අවුරුද්ද අතලග සහල් හිගයක් එයිද - ගොවීන්ගෙන් සහ ආණ්ඩුවෙන් උත්තර




පෞද්ගලික අංශයෙන් එල්ල වන තරඟකාරීත්වයට මුහුණ දෙමින් රජය මගින් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට නම්, තෙත බර සහිත වී සඳහා ද දැනට නියම කර ඇති මිලට වඩා වැඩි මිලක් ගොවීන්ට ලබාදිය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ වී මිලදී ගැනීම සඳහා ඇතිවී තිබෙන තරඟකාරීත්වයට මුහුණ දීමට රජය ආකර්ශණීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවයි. 

වී මිලදී ගැනීමේදී මතුව ඇති තරඟකාරීත්වයට මුහුණ දෙන්නේ කෙසේදැයි වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශනගෙන් ද නෙත් නිවුස් කරුණු විමසීමක් කළා.

මේ අතර, ඉදිරියේදී රට තුළ සහල් හිඟයක් ඇති විය හැකි බවයි මෙරට ප්‍රධාන පෙලේ සහල් ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන ඉකුත්දා ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, එවැනි සහල් හිඟයක් මතුවිය නොහැකි බවයි වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන පැවසුවේ.

ඉකුත් වසරේ වාර්තාගත වී අස්වැන්නක් ලැබී ඇති බැවින් වී මෝල් හිමියන් පවසන පරිදි සහල් හිඟයක් ඇත්නම් අතිරික්ත වී තොගවලට සිදුවූයේ කුමක්දැයි සොයාබැලිය යුතු බවයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පෙන්වා දුන්නේ.

කෙසේවෙතත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසන්නේ පුද්ගලික සහල් මෝල් හිමියන් වැඩි මිලට ගොවීන්ගෙන් වී මිලදී ගත්තද වසර තුනක් යනතුරු වැඩි මිලට සහල් අලෙවි කිරීමට ඔවුන්ට ඉඩ නොදෙන බවයි. ඒ අනුව එම කාලයේදී නාඩු සහ කැකුළු සම්බා කිලෝවක මිල රුපියල් සියය ඉක්මවා යාමට ඉඩ නොදෙන බවයි ඔහු කියා සිටියේ.