Tuesday, May 21, 2024

General line - 0115112241

ජාත්‍යන්තර මානව හිමිකම් චෝදනාවලින් ගැලවීමට ශ්‍රී ලංකාවට මාවතක් විවෘත වෙයි




සම අනුග්‍රාහකත්වය දැරූ රටවල් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයට නව යෝජනාවලියක් ගෙන එන්නේ නම් ඉන් වාසි ලබාගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතු බව නීතිවේදී මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා පවසනවා. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවට අවශ්‍ය දේශීය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම සඳහා එය අවස්ථාවක් කරගත යුතු බවයි. 

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිවේදී මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වන නව යෝජනාවලියක් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ යෝජනාවලියට සම අනුග්‍රාහකත්වය දැරූ රටවල් වන එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, උතුරු මෙසිඩෝනියාව, මොන්ටෙනිග්‍රෝ සහ මලාවි රාජ්‍යය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය මගින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාව පදනම් කරගනිමින් එම යෝජනාවලි ඉදිරිපත් කරන බවයි එම ඒකාබද්ධ නිවේදනයේ දැක්වුණේ. 

යටිතල පහසුකම් නැවත ගොඩනැගීම, බිම්බෝම්බ ඉවත් කිරීම, ඉඩම් නැවත ලබාදීම සහ අභ්‍යන්තර අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ද එම නිවේදනයේ සඳහන්. එහෙත්, රට තුළ තිරසාර සාමයක් ගොඩ නැගීමට සහ යුද්ධයේ හානිකර උරුමයන් විසඳීම සඳහා තවත් බොහෝදේ සිදු කළ යුතු බවයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවලිය ඉදිරිපත් කළ රටවල් සිය ඒකාබද්ධ නිවේදනයේ දක්වා තිබුණේ.