Sunday, May 12, 2024

General line - 0115112241

මියන්මාරයේ විරෝධතාකරුවන්ට හමුදාව වෙඩි තබයි




මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධතා දරුණු අතට පත්ව තිබෙනවා. ඒ, විරෝධතාකරුවන්ට එරෙහිව එරට ආරක්ෂක අංශ සජිවි පතුරම් යොදා වෙඩි තැබීමත් සමගයි. මේ දක්වා එළෙස සිදු කළ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 20කට ආසන්නයි. 

මියන්මාර විරෝධතා සම්බන්ධයෙන් ලොව පුරා දැඩි කතා බහක් මතු වුණේ හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතාවල නිරතව සිටියදී හිසට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 20 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්වීමත් සමගයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉකුත් 9 වනදා විරෝධතාවල නිරතව සිටියදී අදාළ තරුණියගේ හිසට වෙඩි වැදී ඇති බවයි. සජීවි උණ්ඩයක් හේතුවෙන් ඇයගේ හිසට දැඩි තුවාල සිදුව තිබූ බව ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් පවසා තිබුණා. හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතාවලදී ජීවිතක්ෂයට පත් පළමු මියන්මාර පුරවැසියා ඇයයි.

ඉකුත් පෙබරවාරි 1 වන දා මියන්මාර නායිකා අවුන් සාන් සූචී ඇතුළු දේශපාලන නායකයින් අත්අඩංගුවට ගැනීමෙන් පසු එරට හමුදාව රටේ පාලන බලය සියතට ගත්තා. පසුව මෙම හමුදා කුමන්ත්‍රණයට විරෝධය පළ කරමින් හා යළි ප්‍රජාත්නත්‍රවාදය ස්ථාපනය කරන ලෙස බල කරමින් දහස් ගණන් මියන්මාර වැසියන් මහ මගට බැස සති දෙකක් තිස්සේ විරෝධතාවල නිරත වනවා.