Tuesday, May 7, 2024

General line - 0115112241

රොකට් ප්‍රහාරවලට පිළිතුරු ලෙස සිරියාවේ ඉලක්ක වෙත අමෙරිකාවෙන් ගුවන් ප්‍රහාරයක්




සිරියාවේ පිහිටි ඉලක්කයක් වෙත අමෙරිකානු ප්‍රහාරක ගුවන් යානා විසින් අද දිනයේදී ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ ජනාධිපති ජෝ බයිඩ්න් ගේ නියෝග මතයි. 

නව අමෙරිකානු ජනාධිපතිවරයා සිය ධුරයට පත්වීමෙන් අනතුරුව අණදුන් පළමු යුද ක්‍රියාකාරකම මෙය වනවා.

පසුගිය සති දෙකක කාලය තුලදී කලාපයේ ස්ථානගත කර සිටින අමෙරිකානු හමුදා භට පිරිස් වෙත දිගින් දිගටම එල්ලවූ රොකට් ප්‍රහාර වලට පිළිතුරක් වශයෙන් මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ඉරානයේ සහය ලබන සටන් කණ්ඩායම් දෙකක් අමෙරිකානු ගුවන් ප්‍රහාරවල ඉලක්ක වී ඇති බවයි පෙන්ටගනය සඳහන් කළේ.

" ඉරාන - ඉරාක දේශසිමාවන් ආසන්නයේ පිහිටි කයිට්බ් හිස්බුල්ලා සහ කයිටිබ් සයීඩ් අල් ෂුහාඩ් යන ඉරාන පිටුබලය ලබන කණ්ඩායම් දෙකේ පාලන ස්ථානයක් අමෙරිකානු ගුවන් ප්‍රහාරවල ඉලක්කය විය. කලාපයේ වෙසෙන අමෙරිකානු සහ මිත්‍ර පාර්ශවිය භට පිරිස්වල ආරක්ෂාව වෙනුවෙන් අමෙරිකාව ක්‍රියා කරන බවට වන පණිවිඩය මෙම ප්‍රහාරයෙන් ලබා දීමට බලාපොරොත්තුවන බව" පෙන්ටගනයේ මාධ්‍ය ප්‍රකාශක ජෝන් කර්බි ප්‍රකාශ කර සිටියේ.

මෙම ප්‍රහාරයෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් මේ දක්වා තොරතුරු වාර්තා වී නොමැති බවද විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියා.