Saturday, May 11, 2024

General line - 0115112241

ඉන්දියාවේ, 45 ට වැඩි සියළු පුද්ගලයින්ට අද සිට කොවිඩ් මර්දන එන්නත්




ඉන්දියාවේ වයස අවුරුදු 45 ට වැඩි සෑම පුද්ගලයෙකුටම කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ වැඩසටහන අද සිට ආරම්භ කර තිබෙනවා.

ඒ, එරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙලේ තුන්වන අදියර යටතේයි.

ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙලෙස වයස අවුරුදු 45 ට වැඩි පුද්ගලයින්ට ද එන්නත ලබා දීමට තීරණය කළ බවයි එරට රජය පවසන්නේ.

ඉන්දියාව තුළ මේ දක්වා කොවිඩ් මර්දන එන්නත් මිලියන 60 කට අධික සංඛ්‍යාවක් ලබා දී ඇති අතර, එන්නත් ලබා දීමේදී ප්‍රමුඛතාවය දී ඇත්තේ ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්ට සහ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ටයි.

ලොව විශාලතම එන්නත්කරණ මෙහෙයුම ආරම්භ කර ඇති ඉන්දියාවේ ඉලක්කය වන්නේ ලබන ජූලි මාසය වනවිට පුද්ගලයින් මිලියන 250 කට කොවිඩ් මර්දන එන්නත් ලබාදී අවසන් කිරීමටයි. නමුත් විශේෂඥයින් පවසන්නේ, එම ඉලක්කය සපුරාගැනීමට නම් ඉන්දියාව සිය එන්නත්කරණ වේගය තවත් ඉහළ නැංවිය යුතු බවයි.

ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතරින් තුන්වන ස්ථානයේ පසුවන ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන එක්කෝටි විසි දෙලක්ෂ 21,665 ක්. එරටින් සමස්ත කොරෝනා මරණ එක්ලක්ෂ 62,960 ක් ද මේ වනවිට වාර්තා වී ඇති  බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ