Tuesday, May 7, 2024

General line - 0115112241

නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුගේ උසස්වීම් තවමත් ප්‍රමාදයි 




නිලධාරීන් විශ්‍රාම යෑම හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ මේ වන විට පුරප්පාඩු වී ඇති ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධුර තනතුරු දෙකක් සඳහා සුදුසුකම් ලබා ඇති නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට මේ දක්වා උසස්වීම් ලබාදී නොමැති බවට වාර්තා වනවා. 

මේ වන විට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ පුරප්පාඩු සඳහා නිර්දේශ කරමින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන සංජිව මැදවත්ත සහ කිත්සිරි ජයලත් ගේ නම් පොලිස්පතිවරයා විසින් නිර්දේශ කොට මහජන ආරක්ෂාව භාර අමාත්‍යාංශයේ අනුමැතිය සඳහා යවා ඇත්ත මේ දක්වා ඊට අනුමැතිය හිමිවී නොමැති බවයි වාර්තා වන්නේ.

2019 වසරේ දී එල්ලවූ පාස්කු ප්‍රහාරයෙන් පසු සහරාන් හෂීම් ගේ පළමු පුහුණු කඳවුරක් කුරුණෑගල යන්තම්පලාව ප්‍රදේශයේ පිහිටි පොල් ඉඩමක පවත්වාගෙන ගොස් තිබු බවට සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයින් සොයා ගැනීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරනු ලැබුවේ එවකට කුරුණෑගල දිස්ත්‍රික්කය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ ප්‍රධානත්වයෙනි.

පාස්කු ප්‍රහාර සමයෙන් පසුව මෙරට වඩාත් කතාබහට ලක්වූ කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු සිදුකළේද නියෝජ්‍ය පොලිස්පති කිත්ස්රි ජයලත්ගේ ප්‍රධානත්වයෙන්. මේ වන විට නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් අනුරාධපුර දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනු ලබනවා.

කලක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සංජිව මැදවත්ත නාවික හමුදාව සමග එක්වී ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ධිවර යාත්‍රා වලින් සිදුකරනු ලබන හෙරෝයින් ජාවාරම මැඩලීම සඳහා සුවිශේෂී මෙහෙයුමක් සිදුකරනු ලැබූ අයෙකු වනවා. කෙටි කාලයක් තුලදී ධිවරයින් සේ කටයුතු කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතු පිරිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2000කට අධික ප්‍රමානයක් අත්අඩංගුවට ගැනීමට නියෝජ්‍ය පොලිස්පති සංජිව මැදවත්ත සමත්විය.