Tuesday, May 7, 2024

General line - 0115112241

දඹුල්ලෙන් ඇල්ලූ සැක සහිත කන්ටේනරයේ පොල්තෙල් පරිභෝජනයට සුදුසුදැයි සොයා පරීක්ෂණ




දඹුල්ල ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රියේ සොයාගත් සැක සහිත පොල්තෙල් කන්ටේනරයේ අඩංගු පොල්තෙල් මිනිස් පරිභෝජනයට සුදුසුදැයි සෞඛ්‍ය අංශ විසින් පරීක්ෂා කිරීමට නියමිතව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.

අදාළ සැක සහිත පොල්තෙල් අඩංගු කන්ටේනරය මේ වනවිට දඹුල්ල පොලිස් ස්ථානයේ රඳවා තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

මේ අතර, ඇෆ්ලටොක්සීන් නැමැති රසායනික ද්‍රව්‍ය අඩංගු බවට තහවුරු වී ඇති ආනයනික පොල්තෙල් තොගය දින 03 ක් ඇතුළත ප්‍රතිඅපනයනය සඳහා පියවර ගන්නා බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියා. ඒ සඳහා අවශ්‍ය නෞකා ශ්‍රී ලංකා රේගුව මගින් සූදානම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර වෙළඳපොලේ පවතින පොල්තෙල්වල ප්‍රමිතිය සොයා බැලීම සඳහා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම සාම්පල 05 බැගින් පොල්තෙල් සාම්පල 125 ක් මේ වනවිට පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. ඉන් සාම්පල 55 ක පරීක්ෂණ කටයුතු දැනටමත් අවසන් අතර එම සාම්පලවල ඇෆ්ලටොක්සීන් රසායනිකය අඩංගු නොවන බව තහවුරු වී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.