Tuesday, May 7, 2024

General line - 0115112241

ප්‍රකාශයක් ලබාදෙන්න කැරලොයින් ජූරි පොලිසියට එයි




2019 ලෝක විවාහක රූ රැජිණ ලෙස තේරී පත් වූ කැරලොයින් ජූරි අද උදෑසන කුරුඳුවත්ත පොලීසිය වෙත කැඳවා තිබුණා. ඒ, 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙසින් තේරී පත්වූ පුෂ්පිකා ද සිල්වාට ජයග්‍රාහී කිරුළ පලඳා එය ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි. 

මේ අතර, කැරලොයින් ජූරිගේ එම හැසිරීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළකරන බව ද ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියේ සංවිධායකයින් පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කරන්නේ, කැරොලයින්ගේ හැසිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකර කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා බවයි.

2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගය පසුගියදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වුණු අතර එහි ජයග්‍රාහී කිරුළ හිමිවූයේ පුෂ්පිකා ද සිල්වාටයි. ඇයට කිරුළ පැලඳවූයේ ලෝක විවාහක රූ රැජින ලෙස පසුගිය වසරේ තේරී පත් වූ කැරොලයින් ජූරි විසින්. නමුත්, පුෂ්පිකා ද සිල්වාට කිරුළ පළදා සුළු මොහොතකින් කැරලොයින් ජූරි ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, පුෂ්පිකා ද සිල්වා දික්කසාද වූ තැනැත්තියක් වන බැවින් කිරුළ හිමිවන්නේ දෙවන ස්ථානය හිමිවූ තරඟකාරියට බවයි.

ඒ අනුව පුෂ්පිකාට පැලඳවූ ජයග්‍රාහී කිරුළ ඇගෙන් ඉවත් කර තරගයේ දෙවන ස්ථානය දිනාගත් ආශියා බස්නායකට පැළඳවීමට කැරොලයින් ජූරි පියවර ගත් අතර එම සිදුවීම සමාජ මාධ්‍ය තුළ ද දැඩි කතාබහට ලක් වුණා.