Friday, May 17, 2024

General line - 0115112241

වියළි කාලගුණයෙන් ජල සැපයුමටත් බාධා




පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පවසන්නේ, වියළි කාලගුණයත් සමග ජල මූලාශ්‍රවල ජල ධාරිතාව පහළ යමින් පැවතීම සහ උත්සව සමය හේතුවෙන් ජල පරිභෝජනය ඉහළ ගොස් තිබීම ඊට හේතුව බවයි. ඒ අනුව දවසේ පැය 24 පුරා එකම ධාරිතාවකින් ජලය සැපයීමට අපහසුතා පැන නැගී ඇති බව ද අදාළ නිවේදනයේ සඳහන්.

මේ හේතුවෙන් උස් බිම් ප්‍රදේශවල වෙසෙන ජල පාරිභෝගිකයින් වෙත ජලය බෙදා හැරීමේදී අඩු පීඩන තත්ත්වයන් ඇතිවිය හැකි බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ. අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් නළ ජලය භාවිත කර, ජලය නොලැබෙන පාරිභෝගිකයින්ට අවශ්‍ය පානීය ජලය ලබා ගැනීමට සහයෝගය දක්වන ලෙස ද එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර, ගත වූ පැය 24 තුළ මෙරට වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.2 ක් ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. අදත් කොළඹ, මල්වාන, කොස්ගම, සීතාවක, මල්දෙණිය, රොසැල්ල, තලවකැලේ, සීතාඑළිය, ඇටම්පිටිය, පස්සර, වරලන්ද සහ පලාඩි කලපුව යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පැවති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වල තැනින් - තැන අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වනවා. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.